ඡායාරූප ශිල්පයේදී Aperture එක පාලනය කරන එක ඉතාම වැදගත්. Aperture Setting එක, Shutter Speed එක සහ ISO Setting එක තමයි ඡයාරූපයක Exposure එක තීරණය කරන ප්‍රධානම සාධක තුන.

Aperture Stop එකක් වැඩි කිරීමෙන් Sensor එකට ලැබෙන ආලෝක ප්‍රමාණය දෙගුණයකින් අඩු වෙනවා කියන එක තමයි ප්‍රයෝගික ඡායරූප ශිල්පයේදි වැදගත් වෙන්නේ. අනික් කාරණාව තමයි අඩු Aperture Stop වලදි “Depth of Field” එක අඩුයි කියන එක. මේ ලිපියෙන් විස්තර යන්නේ කොහොමද මේ Aperture Stop එහෙමත් නැත්නම් F-Number ඉලක්කම් එන්නේ කියලයි.

මුලින්ම F-Number එකේ අර්ථ දැක්වීම මෙහෙමයි.

F-Number=f/D

මෙහි f කියන්නේ කාචයේ නාභීය දුර සහ D කියන්නේ කාචයට ආලෝකය ඇතුළු වන වර්ගඵලය. එහෙමත් නැත්නම් එකේ Aperture වර්ගඵලය. සාමාන්‍ය F-Number පරාසය වන්නේ f/1, f/1.4, f/2, f/2.8, f/4, f/5.6, f/8, f/11, f/16, f/22….  දැන් කොහොමද මේ ඉලක්කම් ටික එන්නේ කියලා බලමු.

ගණනය කිරීමට භෞතික විද්‍යාවේ එන පොඩි සංකල්පයකුත් ඕනෑ වෙනවා. ඒ තමයි  Sensor එකට ලැබෙන ආලෝක ප්‍රමාණය Aperture එකේ  වර්ගඵලයට සමානුපාතිකයි කියන එක.

A1, A2 කියන වර්ගඵල දෙකට ලැබෙන ආලෝක ප්‍රමාණ දෙක P1, P2 කියලා හිතමු.  එතකොට

P1=kA1 …………………… (1)

P2=kA2……………………(2)

Aperture එක වෘත්තාකාර නිසා (1),(2) සමීකරණ දෙක පහත විදියට ලියන්න පුළුවනි.

P1=kл(d1/2) 2 …………………… (3)

P2= kл(d2/2)2 ……………………(4)

d1, d2 කියන්නේ A1, A2 වර්ගඵලය වන වෘත්ත දෙකේ විෂ්කම්භයන්.

එක F-Stop එකකදී ලැබෙන ආලෝක ප්‍රමාණය දෙගුණයකින් අඩු වෙන නිසා

2P2=P1

එතකොට (3) න් සහ (4) න්

2 kл(d2/2)2 = kл(d1/2) 2

=> d1=√2d2

වෙන විදියකට කියනවා නම් ලැබෙන ආලෝක ප්‍රමාණය දෙගුණයකින් අඩු වෙන්න Aperture එකේ විෂ්කම්භය √2 [1.414] ගුණයකින් අඩු වෙන්න ඕනේ. මේ විදියටම ලැබෙන ආලෝක ප්‍රමාණය 4 ගුණයකින් අඩු වෙන්න නම් Aperture එකේ විෂ්කම්භය 2 ගුණයකින් අඩු වෙන්න ඕනේ. 8 ගුණයකින් අඩු වෙන්න නම් Aperture එකේ විෂ්කම්භය 2√2[2.828] ගුණයකින් අඩු වෙන්න ඕනේ. ඔය විදිහට තමයි කියන f/1, f/1.4, f/2, f/2.8, f/4, f/5.6, f/8, f/11, f/16, f/22….  ඉලක්කම් ලැබෙන්නේ. වෙන විදිහකට ලියනවා නම් f/(√2^0), f/(√2^1),, f/(√2^2),, f/(√2^3),, f/(√2^4),, f/(√2^5),, f/(√2^6),, f/(√2^7),, f/(√2^8),, f/(√2^9), ….

අළුත් SLR කැමරාවල Aperture පාලනය Camera Body එකේ තියෙනවා. එතකොට සම්පූර්ණ Stops වලට අමතරව 1/2 Stop සහ 1/3 Stop තියෙන්න පුළුවන්.

එතකොට පරාසය හැදෙන්නේ මෙන්න මෙහෙමයි.

1/2 Stop

f/(√2^0), f/(√2^0.5), f/(√2^1), f/(√2^1.5),f/(√2^2),f/(√2^2.5),f/(√2^3),f/(√2^3.5), f/(√2^4),f/(√2^4.5), ….

=> f/1, f/1.2, f/1.4, f/1.7, f/2,f/2.4,f/2.8,f/3.6,f/4,f/4.8………

1/3 Stop

f/[√2^0], f/[√2^(1/3)], f/[√2^(2/3)], f/[√2^1], f/[√2^(4/3)], f/[√2^(5/3)], f/[√2^2], f/[√2^(7/3)], f/[(√2^(8/3))], f/[√2^3], ….

=> f/1, f/1.1f/1.2, f/1.4, f/1.6, f/1.8, f2………

ඊලඟට කියන්න යන්නේ කැමරා කාචයක් මිලදී ගැනීමේදී සැළකිලිමත් වෙන්න ඕනේ කරුණු දෙකක් ගැන. පළමු වැන්න තමයි කාචයේ F-Number එක අඩු වෙන තරමට [එනම් Aperture එකේ විශාලත්වය වැඩ් වෙන තරමට] කාචයේ මිල වැඩි වෙනවා කියන එක.  ඊට හේතුව වන්නේ අඩු ආලෝක තත්ව යටතේ ඉහළ Shutter Speed භාවිතා කිරීමට හැකි නිසා. ඒ නිසා මේ කාච වලට High Speed කාච කියලත් කියනවා.

දෙවැන්න තමයි නූතන ඡායාරූපකරණයේදී භාවිතා වන Zoom කාච වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි Constant F-Number කාච සහ Variable F-Number කාච. Constant F-Number කාච වල ඕනෑම නාභීය දුරකදී අඩුම F-Number එක භාවිතා කරන්න පුළුවන්.  උදාහරණයක් විදියට NIKKOR AF-S VR Zoom 70-200mm f/2.8G කාචය ගත්තොත්, මෙහි නාභීය දුරේ සම්පූර්ණ පරාසයේදිම f/2.8 භාවිතා කරන්න පුළුවන්.  හැබයි Nikon 18-105mm f/3.5-5.6 VR කාචය ගත්තොත්, f/3.5 භාවිතා කරන්න පුළුවන් 18mm අන්තයේදී විතරයි. 105mm අන්තයේදී අඩුම F-Number එක f/5.6 ක් වෙනවා. මෙහෙම කාච වල F-Number දෙකක් දැක්වෙනවා. මේ කාච එකම නාභී දුර පරාසයේ Constant F-Number කාච වලට වඩා බෙහෙවින් මිලෙන් අඩුයි. බොහොමයක් D-SLR කට්ටලවල [kit] හමුවන කාච මේ වර්ගයේ ඒවා. ඒ නිසා Body විතරක් අරන් High Speed කාචයක් වෙනම ගන්නවද, Kit Lens එක තමාගේ වැඩට ප්‍රමාණවත්ද කියන එක ටිකක් හිතන්න ඕනේ දෙයක්.

Advertisements