පරෙවි කූඩු සිද්ධාන්තය

2 Comments

කළින් දවසක සංචාරකයා ලිව්වනේ සම්භාවිතාවය ගැන පුංචි කතන්දරයක්. ගණිතයේ එන “සංකරණ සහ සංයෝජන” ගැනත් සංචාරකයාගේ අත්දැකීම් ඊට සමානයි. මේ ලිපියෙන් ලියන්න යන්නේ ඒ දෙපැත්තටම සම්බන්ධ පොඩි බට්ටා සිද්ධාන්තයක් ගැන.

පොඩි කාලේ අහපු මේස් ගැටළුව මතකද? ආයේ මතක් කරනවා නම් කළුවර කාමරයක තියෙන පෙට්ටියක පාට දෙකක මේස් තියෙනවා. එකම පාටෙන් මේස් දෙකක් ගන්න නම් අඩුම වශයෙන් මේ කීයක් ගන්න ඕනෙද? සරලයිනේ, උත්තරය තුනයි. මෙන්න මේ වගේ ගැටළු පිටිපස්සේ තියෙන සිද්ධාන්තයට තමයි පරෙවි කූඩු සිද්ධාන්තය [Pigeonhole Principle]කියල ගණිතයේ කියන්නේ.

පරවියෝම අරගෙන මේ සංකල්පය පැහැදිලි කරනවා නම් මෙයින් කියන්නේ n>m වෙලාවට පරවියෝ n සංඛ්‍යාවක් කූඩු m සංඛ්‍යාවකට දානවා නම් එක කූඩුවක හරි පරවියෝ එකකට වැඩිය ඉන්නව කියලයි.  බැලූ බැල්මට නම් වෙනම ගණිත සිද්ධාන්තයක් විදියට අර්ථ දක්වන්න තරම් දෙයක් මෙතන නෑ. හැබැයි මේක පාවිච්චි කරල හිතන්නේ නැති විදිය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

සරල උදාහරණයක් කියනවා ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයෝ දෙදෙනෙක්වත් ඒකම සතියේ දවසක [සඳුදා, ……., ඉරිදා] ඉපදුණු අය වෙනවා. මොකද සතියේ දවස් 7ක් තියෙන්වා [m=7 යි]. කණ්ඩායමට ක්‍රීඩකයෝ 11ක් ඉන්නවා [n=11]. එතකොට පරෙවි කූඩු සිද්ධාන්තය [n>m නේ මෙතන] අනුව ඒක සතියේ දවසක ඉපදුණු ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා.

තවත්  උදාහරණයක් ගත්තොත් ඕනෑම ධන නිඛිල 6ක් ගත්තොත් අනිවාර්යයෙන් එවා දෙකකවත් අන්තරය 5න් බෙදෙනවා කියන එක.  ඕනෑම ඉලක්කමක් 5ක් බෙදුවාම ඉතිරි වෙන්න පුළුවන් ඉලක්කම් 5ක් තියෙනෙවානේ [0,1,2,3,4].  ඒ කියන්නේ m=5 යි. ඉලක්කම් 6ක් තිබෙන නිසා n=6 යි. එම නිසා ඉලක්කම් දෙකක්වත් තියෙනවා 5න් බෙදුවාම එකම ශේෂයක් ඉතුරු වෙන. එතකොට ඒ ඉලක්කම් දෙක මෙහෙම ලියන්න පුළුවන් නේ.[උදාහරණයක් විදියක්ට 4ක් ඉතිරි වෙන ඉලක්කම් දෙකක් තියෙනව කියල ගම්මුකෝ]

5a+4, 5b+4

එතකොට මේ ඉලක්කම් දෙකේ අන්තරය වෙන්නේ 5(a-b). ඒ කියන්නේ අන්තරය 5න් බෙදෙනවා.

හිතට ආපු ඉලක්කම් 6ක් අරන වැඩේ කරලා බලමු.

23, 45, 67, 86, 12, 46

23=5(4) + 3

45=5(9) + 0

67=5(13) + 2

86=5(17) + 1

12=5(2) + 2

46=5(9) + 1

67යි 12යි දෙකම 5න් බෙදුවාම දෙකක් ඉතුරු වෙනවා. 67න් 12ක් අඩු කළාම එන 55 5න් බෙදෙනවා.

මෙම සිද්ධාන්තය මීට වඩා ගොඩාක් සංකීර්ණ ගැටළු විසඳන්න පාවිච්චි කරන්න පුළුවන. චෙස් පුවරුවක් සම්බන්ධ කරලා හරිම අපූරු ගැටළුවක් එහෙම තියෙනවා. උනන්දුවක් තියෙන අය අන්තර්ජාලයේ හොයලා බලන්න.

ප.ලි:Pigeonhole’ කියන ඉංග්‍රිසි වචනෙට හරිම සිංහල වචනය සංචාරකයා දන්නේ නෑ. හිතට ආවට පරෙවිකූඩුව කියල දැම්මට මේක කුඩා ලාච්චුවක් වගේ දෙයක් හඳුවන්න පාවිච්චි කරන වචනයක්. හරිම සිංහල වචනය දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න.

Advertisements

රුසියනු පොත් මතක සහ අප්‍රසිද්ධ ගණනය කිරීමක්

1 Comment

ලියන්න පටන් ගද්දිම හිතෙනවා ලිපිය ටිකක් දික් වෙයි කියලා. මේ ලිපිය ලියන්න නිමිති වෙච්ච කාරණා දෙකක් තියෙනවා. පළමුවැන්න තමයි සංචාරකයා දාපු පහුගිය ලිපි දෙකකටම ආපු කමෙන්ට්වල තිබ්බ රුසියානු පොත් ගැන සඳහන්. ඒවා දැක්කාම සංචාරකයටත් පොඩි කාලේ කියවපු රුසියානු පොත් මතක් වුණා.

සංචාරකයා පොඩි කාලේ රූප පිටු, ඝනකම් කවර තියෙන සිංහල පොත් හරිම අඩුවෙනුයි තිබ්බේ. ඇත්තටම කියනවා නම රුසියානු පොත් ඇරෙන්න එහෙම පොත් හොයා ගන්න තිබ්බෙම නැති තරම්. ඒ නිසාම රුසියානු පොත් ඒ කාලේ ගොඩාක් ජනප්‍රිය වුණා. රුසියානු පොත් ජනප්‍රිය වෙන්න අනික හේතුව තමයි ඒවයේ මිල සාපේක්ෂව අඩු වීම.

ඔය අතරින් සංචාරකයාගෙ මතකයේ රැඳිණු පොත කිහිපයක් තියෙනවා. ඒවා තමයි ‘හරිත වර්ණ දූපත’,’ ලස්සන මාළුවෝ’,’මිනිසුන් පෘථිවියේ හැඩය සොයා ගත් හැටි’ සහ ‘සීයාගේ ඇස් කණ්ණාඩි’. මේ පොත් ඔක්කොම ඝනකම් කවරයක් සහිතව ඔප කඩදාසියේ මුද්‍රණය කරපුවා. ඒවාගේ තිබ්බ වර්ණවත් රූප හරියට මැජික් වගේ, ඇයි ළමා පත්තර ඒ කාලේ මුද්‍රණය කලේ සාමාන්‍ය කඩදාසියේ. පොත් ගන්න ඒ කාලේ තිබුණු ඒකම ක්‍රමය තමයි පොත් ප්‍රදර්ශන, තාම හොඳට මතකයි තාත්තා ’මිනිසුන් පෘථිවියේ හැඩය සොයා ගත් හැටි’ පොත අරන් දුන්නේ මහපොළ ප්‍රදර්ශනයකදී. අනික් පොත් අම්මාගේ අනුග්‍රහයෙන් ඉස්කොලේ තිබුණු පොත් ප්‍රදර්ශන වලින් තමයි ගත්තේ.  හරියට ගාන බලා ගන්නේ නැතුව අම්මාගෙන් සල්ලි ඉල්ලගෙන ගිහිල්ලා ‘හරිත වර්ණ දූපත’ ගන්න සල්ලි මදි වුණු හැටි තාම මතකයි. ඒක ගන්න ඊළඟ අවුරුද්දේ පොත් ප්‍රදර්ශනය එනකන් ඉන්න වුණා.  මේ පොත්වල අනුවාදකයා ‘දැදිගම වී රුද්‍රිගු’ මහත්මයා නේද? හරියටම මතක කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා කමෙන්ට් එකක් දාන්න.

කොහොම හරි ඔය කියන ’මිනිසුන් පෘථිවියේ හැඩය සොයා ගත් හැටි පොතේ එක තැනක තියෙනවා පුංචි ගණනය කිරීමක් දාලා එරටොස්තීනස් කියන ග්‍රීක ගණිතඥයා පෘථිවියේ අරය ආසන්නව හොයන හැටි. ඔය පොත කියවන කාළේ නම් ඔය ගණනය කිරීම තෙරුණේ නෑ.

මේ ගණනය කිරීමේ සෑහෙන දෝෂ තිබුණත් මෙය උපකල්පන මත කරන ආසන්න ගණනය කිරීම වලට ඉතාම හොඳ උදාහරණයක්. ටිකක් ප්‍රසිද්ධ ගණනය කිරීමක් හින්දා මේ ගැන මේ ලිපියේ දාන්න සංචාරකයා බලාපොරොත්තු වෙන්නේ නෑ.

දැන් එමුකෝ මේ ලිපිය දාන්න හේතු වුණු දෙවෙනි කාරණය. එයේ පෙරේදා ඩිස්කවරි චැනල් එකක් දිගින් දිගටම විකාශය වුණා ‘Into the Universe with Stephen Hawking’ කියන වැඩසටහන් මාලව.  මේක සංචාරකයාට හිතුණු විදියට නම් ඉතාම හොඳ වැඩසටහන් මාලවක්. ආචාර්යය ස්ටීවන් හෝකින් ඔහුගේ සංස්ලේශ කටහඬින් හැමෝටම තේරෙන විදියට විශ්වයේ ආරම්භය, පිටසක්වළ ජීවය, කාල තරණය, පෘථිවියේ ජීවයේ ආරම්භය ගැන කියලා දෙනවා. ඉතින් මේක බලලා ත්‍රිල් පිට සංචාරකයා ආචාර්යය ස්ටීවන් හෝකින්ගේ අළුත්ම පොත වන ‘The Grand Design‘ ගත්තා. ගත්තාට මොකද ඒක රූපවාහිනී වැඩසටහන් මාලාව තරම්ම සරල නෑ.  වැටහෙන ප්‍රමාණය අඩු වුනත් පොඩ්ඩ පොඩ්ඩ අමාරුවෙන් ඇදගෙන යනවා තාම. මේ පොතේ එක තැනක තියෙනවා කියන Aristarchus ග්‍රීක ගණිතඥයා පෘථිවියේ, හඳේ සහ සූර්යයාගේ සාපේක්ෂ විශාලත්වයන් සහ ඒවා අතර සාපේක්ෂ දුරවල් හෙව්වා කියලා. මේක ගැන ඉතින් සංචාරකයා ඉන්න ගමන් අන්තර්ජාලයේ හොයලා බැලුවා.

ඔහු හොයාගෙන තියෙනවා අඩ හඳ පේන දවසට පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා  සෘජුකෝණී ත්‍රිකෝණයක පිහිටන බව. මේ වාගෙ දවසක පෘථිවිය සහ සූර්යයා අතර කෝණය ඔහු මැනලා තියෙනවා 870 කියලා. දැන් එතකොට මේ වගේ රූපයක් ගොඩ නඟන්න පුළුවන්නේ.

අපි  දුරවල් අතර අතර අනුපාතය ගණනය කරනවා නම්,

s.cos (870) =l

(s/l) = sec (870) =19.11

ඒ කියන්නේ පොළවේ සිට සූර්යයාට තියෙන දුර පොළවේ සිට හඳට තියෙන දුර ප්‍රමාණය වගේ 19 ගුණයක් කියලයි. හැබයි ඇත්ත අනුපාතය 390ක් වෙනවා. වෙනසට හේතුව තමයි කෝණය මිනීමේදී ඇති වෙලා තියෙන අඩුපාඩුව. සැබෑ කෝණ‍ය 900ට ඉතාමත් ආසන්නයි.  සෙක් ශ්‍රිතය කෝණය 900 කරා එලඹෙද්දී අනන්තයට යන නිසා ඉතා සුළු මිනුම් දෝෂයක් විශාල වෙනසක් ඇති කරනවා.  කියන්න ඕනේ අනික කාරණය තමයි ඔහු ජීවත් වුණේ ක්‍රි.පූ 310-230 කාලයේ. මේ වෙද්දී ත්‍රිකෝණමිතිය බිහිවෙලා තිබ්බේ නෑ. ඒ කියන්නේ අනුපාතයේ අගය ඉහත විදියට නෙවේ හොයලා තියෙන්නේ, ජ්‍යාමිතික ක්‍රමයකින්.

ඔහුගේ ගණනය කිරීම ගැන සම්පූර්ණ විස්තරය විකිපීඩියා පිටුවෙන් ගන්න පුළුවනි.

http://en.wikipedia.org/wiki/Aristarchus_On_the_Sizes_and_Distances

ටීචර්ගේ චිත්‍රය සහ ෆෙඩ්‍රික් ගවුස්

1 Comment

ඔන්න එකෝමත් එක රටක ටීචර් කෙනෙකුට උගන්නන්න කම්මැලි හිතිලා ළමයින්ට කිව්වාලු හොඳ ළමයි වාගේ තමන්ට කැමති ලස්සන චිත්‍රයක් අඳින්න කිව්වාලු. පොඩි එවුන් ටික ඉතින් පාඩුවේ වැඩේ පටන් ගත්තාලු. හැබැයි පන්තියේ හිටපු එක අණ්ඩපාල කොලු ගැටයෙකුට ටීචර් එන පොට තේරිලා කොලයක් අර ගෙන එහෙන් මෙහෙන් නිල් පාට ගාල ටීචර් ළඟට දිව්වලු. ටීචර්ට අසූ හාරදාහට තද උණාලු, ඇයි දෙය්යනේ වැඩේ දුන්නා විතරයිනේ.

“මේ මොකක්ද මේ ඇඳලා තියෙන්නේ”

“ටීචර් මම අහස ඇන්ඳා” කියල පොඩි එකා කිව්වලු. කාට කියන්නද…..!!

ඕක හැමෝම දන්න කතාවනේ, මේ ලිපියෙන් ලියන්න යන්නේ සුප්‍රසිද්ධ ගණිතඥයෙක් වන ෆෙඩ්‍රික් ගවුස්ට කුඩා අවදියේදී මේ වගේ වැඩක් දීලා ගවුස්ගේ ගුරුතුමාට වෙච්ච හදියක් ගැනයි. ෆෙඩිරික් ගවුස් ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ,ගණිතයේ සහ භෞතික විද්‍යාවේ නිතරම කියවෙන නමක්නේ. මීට කලින් ලිපියකත් සංචාරකයා ගවුස් ගැන පුංචි සඳහනක් දැම්මානේ. මේ කතාව ප්‍රසිද්ධ වුණාට මේකේ ඇත්ත නැත්ත නම් හරියටම තහවුරු වෙලා නෑ.

දවසක් ගවුස් පන්තියේ දඟ කරන නිසා ගුරුතුමා ගවුස්ට කිව්වලු එකේ ඉඳලා සීය දක්වා ඉලක්කම් වල එකතුව හොයන්න කියලා. වෙන විදියකට කියනවා නම් මෙන්න මේක තමයි හොයන්න කිව්වේ.

1 + 2 + 3 + …………. + 98+ 99+100 =??

කුඩා ගවුස් පට ගාලා උත්තරේ කිව්වලු 5050 කියලා, ගුරුතුමාට ඇඩ්‍රස් නෑ. කතාවේ සඳහන් වෙන්නේ නෑ ගුරුතුමා හරි උත්තරේ දැන ගෙනද ගැටළුව දුන්නේ කියලා, නැත්නම් එහෙම මාර ප්‍රශ්නේ නේ, ඇයි දැන් එකතු කරලා බලන්න වෙන්නේ ගුරුතුමාට. අර හරියට ලොකේ මැද මෙතන. ඔනේ නම් මැනලා බලන්න කියල කව්ද මන්දා රජ කෙනෙකුට කිව්වේ පොඩි කාලේ අහපු කතාවක.

කොහොම හරි ගවුස් උත්තරය හොයා ගන්න භාවිතා කලේ හරිම සරල ක්‍රමයක්. [මෙතන වඩා වැදගත් මෙම ගණනය කිරීම කරන විට ගවුස් ඉතා කුඩා අවදියේ පසු වීමයි, මොකද ගණිතය තරමක් දුරට ඉගෙන ගත්ත කෙනෙක් නම් අර n සූත්‍රය දාලා උත්තරේ ගන්න පුළුවන්නේ.] ගවුස් දැක්කා මුලින් සහ අගින් පදය බැගින් ගත්තාම එකතුව එක සමානයි කියලා.

ඒ කියන්නේ,

1+100=101

2+99=101

3+98=101

.

.

.

.

50+51=101

එතකොට උත්තරේ වෙන්නේ 50 x 101 =5050. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිව්වලු !!!. ඒ හින්දා පොඩි අයට පොඩි පොඩි බොරු වැඩ දෙනකොට බලාගෙනයි.

D-SLR කැමරාවක sensor එක

7 Comments

මීට කලින් දවසක ලිපියක ලිව්වා මතක ඇතිනේ කැමරාවක සංවේදකයේ (sensor) ප්‍රමාණය අනුව කැමරා වර්ගීකරණය වන ආකාරය. අද ලියන්න යන්නේ D-SLR කැමරා එකේ භාවිතා වන සංවේදක තාක්ෂණය අනුව කැමරා වර්ගීකරණය වන හැටි සහ D-SLR කැමරාවක් තෝරා ගැනීමේදී මෙය වර්තමානයේ කොතරම් දුරට අදාළද කියන එකයි.

කැමරාවේ සංවේදකය කරන්නේ එය මතට පතිත වන ආලෝකය විද්‍යුත් සංඥාවක් බවට හරවන එකයි. ප්‍රධාන වශයෙන් D-SLR කැමරාවල භාවිතා සංවේදක වන වර්ග දෙකක් තියෙනවා.  ඒ තමයි

1) CCD (Charge Coupled Device ) Sensors

2) CMOS (Complementary Metal Oxide Semiconductor) Sensors

සංවේදක වර්ග දෙක වැඩ කරන හැටි ගැඹුරින් මෙතන විස්තර කරන්න සංචාරකයා බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද ඒ සඳහා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පොඩි සංකල්ප වගයක් ඕනේ වෙන නිසා. සරලව කියනවා නම් සංවේදක දෙකේම මුලින්ම වෙන්නේ එක් එක් pixel [pixel හැදිලා තියෙන්නේ ඉතා කුඩා ධාරිත්‍රකවලින් – capacitor ]මතට වැටෙන ආලෝකය ආරෝපණයක් (charge) බවට පත් කිරීමයි. වෙනස වෙන්නේ එම ආරෝපණ වෝල්ටීයතාවයක් (voltage) බවට හරවලා කියවා ගන්නා අකාරය අනුවයි. CCD සංවේදකයේදී ධාරිත්‍රකවල ආරෝපණ ක්‍රමාණුකූල පිලිවෙළකට යාබද ධාරිත්‍රකවලට මාරුකරලා පොදු ප්‍රතිදාන පද්ධතියකින් [output system] වෝල්ටීයතාවයක් බවටත් පසුව අංකිත සංඥාවක් [Digital Signal] බවටත් පත් කර ගන්නවා.  CMOS සංවේදකයේදී ආරෝපණය වෝල්ටීයතාවයක් බවට පත් කිරීම එක එක pixel එකට වෙන වෙනම සිද්ධ වෙනවා. මෙන්න මේ වෙනස නිසා මේ සංවේදක වර්ග දෙකේ ගති ලක්ෂ්ණ වෙනස් වෙනවා.

සාමප්‍රදායිකව එන මේ ගති ලක්ෂ්ණ ටික කියනවා නම්

1)      CMOS සංවේදකයක නිෂ්පාදන වියදම CCD වලට සාපේක්ෂ්ව අඩුයි.

2)      CMOS සංවේදකවල power consumption එක සාපේක්ෂ්ව අඩුයි.

3)      CCD සංවේදක වල අලෝකය ග්‍රහණය කර ගැනීමේ හැකියාව සාපේක්ෂ්ව වැඩි අතර ඡායාරූපයට අනවශ්‍ය සංඥා (noise) ඇතුළු වීම අඩුයි.

4)      CMOS සංවේදකවල වේගය වැඩියි. එනම් ඡායාරූප දෙකක් අතර කාල පරාසය සාපෙක්ෂව අඩුයි.

5)  CCD තාක්ෂණය සෑහෙන කාලයක ඡාරූපකරණයේ භාවිතා වීම නිසා එය ඡාරූපකරණයට අදාල විදියට හැඩ ගැහිලා තියෙනවා. CMOS තාක්ෂණය ඡායාරූපකරණයට තරමක් දුරට අලුත්.

දැන් බලමුකෝ මේ දවස්වල ගන්න තියෙන කැමරාවල තියෙන සංවේදක වර්ග මොනවද කියලා. සංචාරකයා පහත ලයිස්තුව ගොඩ නැඟුවේ ලෝකයේ D-SLR සඳහා ඉදිරියෙන්ම ඉන්න සමාගම් පහේ වෙබ් අඩවිවලින් ගත්ත දත්ත අනුවයි.. ඒ නිසා බොහේ දුරට සියළුම කැමරා පාහේ වර්තමානයේ නිෂ්පාදනය වෙන ඒවයි. නිෂ්පාදනය අත්හිටවපු මාදිලි මෙම වගුවේ නෑ කියලා 95%ක විතර විශ්වාසයකින් කියන්න පුළුවනි.

CMOS

Nikon : D3X, D3s, D700,  D300s, D7000, D90,  D5000, D3100

Canon: EOS-1Ds Mark III, EOS-1D Mark IV, EOS-1D Mark III, EOS-5D Mark II, EOS-7D Digital, EOS-60D, EOS-50D Digital, EOS Rebel T2i EFS (550D), EOS Rebel T1i EFS (500D), EOS Rebel XSi (450D), EOS Rebel XS (1000D)

Pentax: K-5, K-r, K-x ,K-7

Sony: α500, α33, α55, α550, α580, α850, α900


CCD

Nikon: D3000

Canon: No models

Pentax: 645D

Sony: α290, α390

පස්වන නිෂ්පාදකයා වශයෙන් බලපු Olympus වල සංවේදක වර්ගය වෙනස් එකක්. Live MOS කියන මේ  තාක්ෂණය ගැන කියන්න සංචාරකයා වැඩිය දන්නේ නැහැ. පුංචි විස්තරයක් මේ විකිපීඩියා ලින්ක් එකේ තියෙනවා.

[http://en.wikipedia.org/wiki/Live_MOS]

ඔලිම්පස් කැමරා අමතක කළොත් වර්තමානයේ CCD වලට තියෙන තැන පේනවා නේද? එයිනුත් D3000 සහ α290, α390 කියන්නේ ආධුනික මට්ටමේ D-SLR කැමරා. Pentax 645D තරමක වෙනස් format එකක කැමරාවක්. ඒක සාමන්‍යයෙන් භාවිතා වන FX, DX format කැමරාවක් නෙවේ. ඉතාමත් මිල අධික medium format කැමරා එකක්.

තියෙන තත්වේ හැටියට ඕනේ වුණත් CCD කැමරා එකක් ගන්න විදියක් නෑ. මේකට හේතුව තමයි පසුගිය අවුරුදුවල  CMOS තාක්ෂණය ඡායාරූපකරණය පැත්තෙන් ගොඩාක් ඉදිරියට ඒම.

ඒ නිසා D-SLR කැමරාවක් හොයනවා නම් මේක තව දුරටත් ප්‍රශ්නයක් නෙවේ. [ඇත්තමට සංචාරකයා මේ ලිපිය ලිව්වෙත් මේ ප්‍රශ්නය ළඟකදී මිතුරෙක්ගෙන් යොමු වුණු නිසා]. හැබැයි දැනට අවුරුදු 3-4කට කලින් තත්වය ඒක නෙවේ. ඒ කාළේ Nikon කැමරා CCD වුණු අතර [උදා:- Nikon D40x, Nikon D80 ] Canon කැමරා CMOS වුණා. එතකොට නම් පොඩ්ඩ්ක් හිතන්න වුණා. වර්තමානයට එම ප්‍රශ්නය අදාළ නෑ.

වි‍යැට ප්‍රශ්නය කෙසේද යත් …………….

6 Comments

ඊයේ පෙරේදා දවසක සංචාරකයා ලෝක චෙස් ඔලිම්පියාඩය ගැන ලිපියක් ලිව්වානේ. ඒකට දාපු කමෙන්ටුවකදී චානක සහෝදරයා මතක් කලානේ චෙස් ක්‍රීඩාවේ උපත ගැන තියෙන කතාවක්. ඔය කතාව අහලා තිබුණාට එහි කියවෙන ඉලක්කම ගැන ලොකු අදහසක් පොඩි කාලේ කතාව අහද්දී හිතට ආවේ නෑ. ඉතින් ආයේ කතාව මතක් වෙච්චි එකේ සංචාරකයා පොඩි මැතක් දාලා ඒ කියන ඉල්ලකමේ දිග පළල ගැන පොඩ්ඩක් හිතුවා.

කතාව හැමෝම අහලා තිබුනත් වැඩේ සම්පූර්ණ වෙන්න ආයේ ලියන්න වෙනවා. චෙස් ක්‍රීඩාව කරන්නේ කොටු  64කින් යුක්ත සමචතුරස්‍රාකාර පුවරුවකනේ. මේ ක්‍රීඩාව මුලින්ම හොයා ගත්ත පුද්ගලයා රටේ රජතුමා ගාවට ගිහින් ඒක කියලා දුන්නලු. රජතුමත් බොහොම පැහැදිලා තෑග්ගක් දෙන්න හිතලා කිව්වලු ඕනෑම දෙයක් ඉල්ලන්න කියලා.

මේ පුද්ගලයා කිව්වා රජතුමනි මට වැඩි යමක් ඕනේ නෑ, මේ පුවරුවේ පළවෙනි කොටුවට වී ඇට එකකුත්, දෙවෙනි කොටුවට වී ඇට දෙකකුත්, තුන්වෙනි කොටුවට වී ඇට හතරකුත්, හතරවෙනි කොටුවට වී ඇට අටකුත් ආදී වශයෙන් දෙන්න කියලා. රජ්ජුරුවන්ට බැලූ බැල්මට මේක ඉතාම සරල ඉල්ලීමක් වුණා. ඉතින් අපේ නිර්මාපකයාගෙන් “හොඳටම ෂුවර්ද” කියලා එහෙම අහල අවශ්‍ය වී ප්‍රමාණය දෙන්න භාණ්ඩාගාරිකට නියම කරාලු. සිද්ධිය අහපු භාණ්ඩාගාරික පත්තු වුණාලු හොඳටම, රටේම තියෙන වී දුන්නත් මේක කරන්න බෑ කියලා කිව්වලු.

දැන් බලමු මේ කියන්නේ වී ඇට කොච්චරක්ද කියලා. එක් එක කොටුවට අදාළ වී ඇට සංඛ්‍යාව ගුණෝත්තර ශ්‍රේණියකයි පිහිටලා තියෙන්නේ.

S63=20, 21, 22, 23, 24, 25, ……………………………, 263

එතකොට එකතුව වෙන්නේ

S63= (264-1) / (2-1) = 264-1= 18446744073709551615

මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා වී ඇටයක බර මිලිග්‍රෑම් 20-30 අතර වෙනවා කියලා.

http://wiki.answers.com/Q/How_much_does_a_grain_of_rice_weigh

අපි වී ඇටයක බර 25 mg කියලා හිතලා අවශ්‍ය වී ප්‍රමාණයේ බර බලමු.

(25 x 18446744073709551615) / 10^9 = මෙට්‍රික් ටොන් 461168601842.738790375

ආසන්න වශයෙන් කිව්වොත් මෙට්‍රික් ටොන් මිලියන 450,000 ක් !!!.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ දත්ත අනුව 2008 වර්ෂයේ මුළු ලෝකයේම වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 650ක් වගේ වෙන්නේ. එතකොට මේ කියන්නේ සාමාන්‍යයෙන් වාර්ෂික ලෝක වී නිෂ්පාදනය වගේ 692 ගුණයක්.

http://faostat.fao.org/site/339/default.aspx

කොහොමද වැඩේ හැටි…….!!. ඇත්තටම වී දෙන්න ගත්තා නම රජතුමාට තාමත් වී දෙන්න වෙනවා මම හිතන්නේ. මොකද ඉහත උදාහරණය අනුව 2008 ලෝක වී නිෂ්පාදනයම දුන්නත් අවුරුදු 692ක් යනවා ගෙවලා ඉවර කරන්න. ඒ නිසා වෙන්න ඇති කතාවේ ඊළඟට කියන්නේ රජතුමා කිව්වා කියලා, හොඳයි මම වී දෙන්නම්, හැබයි ගැනලා ගන්න, පස්සේ කියන්න එපා අඩුවෙන් දුන්නා කියලා. මේ කතාවේ ගොඩක් version තියෙනවා. විකිපීඩියා පිටුවෙන් වැඩි විස්තර ගන්න පුළුවනි.

http://en.wikipedia.org/wiki/Wheat_and_chessboard_problem


මතක ප්‍රථමක මතක

2 Comments

ප්‍රථමක සංඛ්‍යා තරම් ගණිත ලෝකයේ කතාබහට ලක්වුණු ඉලක්කම් වර්ගයක් තවත් නැතුව ඇති. ප්‍රථමක සංඛ්‍යා ගැන ලියන්න බොහෝ කරුණු තියෙනවා. මේ ලිපියෙන් ලියන්න යන්නේ ප්‍රථමක සංඛ්‍යා සම්බධයෙන් එන සුප්‍රසිද්ධ අනුමිතින් දෙකක් ගැනයි.

පහේ ශිෂ්‍යත්ව පංතිවලදී ඉගෙන ගත්තා මතක ඇතිනේ එක හැරුණු කොට අනික් ඕනෑම ඉලක්කමක් ප්‍රථමක සංඛ්‍යා එකක හෝ කිහිපයක් ගුණිතයක් විදියට ලියන්න පුළුවන් බව. හැබැයි මේකට අංක ගණිතයේ මූලික සිද්ධාන්තය [Fundamental Theorem of Arithmetic] කියලා කියනවා කියලා සංචාරකයා දැන ගත්තේ පාසල් ජීවිතයත් හමාර වුණාට පස්සේ. මෙහි සාධනය මුලින්ම යුක්ලිඩ් විසින් ඉදිරිපත් කරලා තියෙනවා. වඩාත් නිවැරදි සාධනයක් පසු කාලීනව ෆෙඩ්‍රරික් ගවුස් විසින් ගොඩ නඟලා තියෙනවා. ඊළඟට කියන්න තියෙන්නේ ප්‍රථමක සංඛ්‍යා අනන්ත සංඛ්‍යාවක් තියෙනවා කියන එකයි. මේකටත් බොහොම අපූරු සරල සාධනයක් ඉදිරිපත් කරල තියෙනවා යුක්ලිඩ්. දැන් ලියනවා කියපු අනුමිතින් දෙකට එමුකෝ.

පළමු අනුමිතිය තමයි, නිවුන් ප්‍රථමක අනන්ත සංඛ්‍යාවක් තියෙනවා කියන එක (Twin Prime Conjecture). නිවුන් ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ වෙනස 2ක් වෙන ප්‍රථමක සංඛ්‍යා වලටයි.

උදාහරණයක් විදියට 3 සහ 5 දැක්විය හැකියි.

වඩාත් විශාල උදාහරණයකට යනවා නම් 7877 සහ 7879 දැක්විය හැකියි.

ඊටත් වඩා විශාල උදාහරණයකට යනවා නම් 15485651 සහ 15485653 දැක්විය හැකියි.

මේ විදියට තමන්ට කැමති තරම් විශාල නිවුන් ප්‍රථමක යුගල හොයා  ගන්න පුළුවන්. පරිඝනක ඇසුරින් මෙසේ අවශ්‍ය තරම් විශාල ප්‍රථමක යුගල සොයා ගන්න පුළුවන් වුණාට මෙවැනි යුගල අනන්තයක් තියෙනවා කියලා තාම ගණිතමය සාධනයක් ඉදිරිපත් වෙලා නෑ. මේක මුලින්ම ඉදිරිපත් කළේ කව්ද කියන එක නම් ට්කක් විවාදාපන්නයි. සංචාරකයා ඒ ගැන කියන්න වැඩිය දන්නේ නැති නිසා මෙහි ලියන්නේ නෑ.

දෙවෙනි අනුමිතිය තමයි  Goldbach’s conjecture කියන එක. මෙයින් කියන්නේ ඕනෑම ඉරට්ටේ සංඛ්‍යාවක් [2 හැර] ප්‍රථමක සංඛ්‍යා දෙකක එකතුවක් විදියට ලියන්න පුළුවන් කියලයි.

උදාහරණ විදියට

24=23+2

100=47+53

100000= 1103+98897

මෙය මුලින්ම ලොවට ඉදිරිපත් කරලා තියෙන්නේ ජර්මානු ජාතික ගණිතඥයෙක් වන Christian Goldbach. හැබැයි මුල් ඉදිරිපත් කිරීම නම් ටිකක් විතර වෙනස්, මොකද ඒ කාලේ 1ත් ප්‍රථමක සංඛ්‍යාවක් විදියෙට ගණන් අරගෙන තියෙන නිසා.

ප.ලි: කළින් දවසක් ලියපු සිප ගන්න වෘත්ත ලිපිය මතක ඇතිනේ. ඒ ලිපිය ලියද්දී එහෙම සැකසූ වෘත්ත ඇසුරෙන් රටාවක් දාන්න හිතන් හිටියත් කාල වෙලාව මදි නිසා කර ගන්න පුළුවන් වුණේ නැහැ. Mathematica එක්ක පොඩ්ඩක් ඔට්ටු වෙලා එකක් හදා ගත්තා. ඒක තමයි මේ පහතින් තියෙන්නේ.


අදින් අවසන් වුණු ලෝක චෙස් ඔලිම්පියාඩ් තරඟාවලිය – 2010

6 Comments

සංචාරකයා ඉතාම අඩුවෙන් තමයි කාලීන ලිපියක් ලියන්නේ. චෙස් ඔලිම්පියාඩය ගැන ලියන්න හිතුවේ මේ ගැන ජාතික මෙන්ම අන්තර්ජාතික ජනමාධ්‍ය වල තිබුණු අඩු අවධානය හින්දයි. ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ පාපන්දු, බේස්බෝල්, පැසිපන්දු, ටෙනිස්, ගොල්ෆ් වගේ ක්‍රීඩා එක්ක බැලුවාම චෙස් ක්‍රීඩාව ඉතාම ළදරු මට්ටමක තියෙන්නේ.

මෙම තරඟාවලිය පැවැත්වුණේ බටහිර දිග රුසියාවේ තියෙන Khanty-Mansiysk නගරයේදියි.  රටවල් 153ක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ අංශ දෙකක් තිබුණා. ඒ තමයි විවෘත අංශය සහ කාන්තා අංශය.

තරමක් දුරට තියුණු මුහුණුවරක් ගත් විවෘත අංශයේ ශූරතාවය යුක්‍රේනය විසින් දිනා ගත් අතර දෙවන ස්ථානය රුසියානු එක කණ්ඩායම විසින් දිනා ගත්තා. තුන් වන ස්ථානයයට පත් වුනේ ඊශ්‍රායෙල් කණ්ඩායමයි. පසුගිය චෙස් ඔලිම්පියාඩ දෙකේ ලෝක ශූරයන් වූ ආමේනියාවට මෙවර හිමි වුනේ 7 වන ස්ථානයයි. යුක්‍රේනියානු ජයග්‍රහණයේ නියමුවා වුනේ පළමු පුවරුව ක්‍රීඩා කරමින් තරඟ වට 10කින් ලකුණු 8 ක් ලබා ගත් වැසිලි ඉවන්චුක් (GM Vassily Ivanchuk).

කාන්තා අංශයෙන් නම් රුසියානු එක කණ්ඩායමට තරඟයක් තිබුනේ නැති  තරම්. එක තරඟ වටයක් ඉතිරිව තිබෙද්දීම ජයග්‍රහණය තහවුරු වෙලා ඉවරයි. දෙවන ස්ථානය චීනයටත් තෙවන ස්ථානය ජෝජියාවටත් හිමි වුණා. මෙම අංශයෙන් පසුගිය වතාවේ ලෝක ශූරයන් වුණේ ජෝජියාවයි.

අවසාන ප්‍රතිඵලය දකිද්දී සංචාරකයාට හිතිච්ච දෙයක් තමයි කොහොමද සෝවියට් සමූහාණ්ඩුව චෙස් ක්‍රීඩාවෙන් මෙච්චර ඉදිරියට ආවේ කියලා. අද සෝවියට් සමූහාණ්ඩුව නැතත් විවෘත අංශයේ මුල් ස්ථාන 10න් 4කටත් කාන්තා අංශයේ මුල් ස්ථාන 10න් 5කටත්  හිමිකම් කියන්නේ බිඳුනු සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල්. අවසන් වට වලදී පසුබෑවත් අසර්බයිජානය සහ ජෝජියාවත් විවෘත අංශයේ  මුල් වටවලදී සෑහෙන ඉදිරියෙන් හිටියා. ඊළඟට දක්ෂතා දක්වලා තියෙන්නේ නැගෙනහිර යුරෝපියානු රටවල්. වඩාත් පැහැදිලි වෙන්න පහත වගුව සහ සිතියම බලන්න.

සිතියමෙන් දැක්වෙන්නේ අංශ දෙකේම මුල් ස්ථාන 10ට පැමිණි රටවල භූගෝලීය ව්‍යාප්තිය.

මෙම තරඟාවලිය නියෝජනය කරමින් විවෘත අංශයෙන් තරඟ වැදුණු ශ්‍රි ලංකා කණ්ඩායම 104 වන ස්ථානයටත් කාන්තා 75 වන කණ්ඩායම ස්ථානයටත් පත් වුණා. ඒ කණ්ඩායම් දෙකටම සංචාරකයා සුබ පතනවා. මෙම තරඟාවලියට අදාළ විස්තර තරඟාවලියේ නිල වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්.

http://www.ugra-chess.com

අර මැක්කගේ කතාව වගේ සංචාරකයාගේ ලිපි බොහෝ දුරට ගණිතයට සම්බන්ධයිනේ. මේ ලියන්න යන්නේ ගණිතයේ Topology කියන අංශයට අදාළ අමුතු සිදධාන්තයක් ගැනයි. මේක ලියන්න හිතුනේ අර උඩින් දක්වපු සිතියම පාට කරලා ඉවර උනාම. මේ ප්‍රමේයෙන් කියන්නේ තලයක අඳින ලද ඕනෑම  සිතියමක යාබද රටවල් වලට එකම පාට නොවෙන්න  පාට කරන්න අවශ්‍ය වෙන්නේ උපරිම වශයෙන් පාට 4යි කියලා. එක් පූර්ව අවශ්‍යතාවයක් තමයි එක රටක භූමි ප්‍රදේශය සන්තතික [contiguous] වීම. අනික තමයි මෙහි යාබද රටවල් කියන්නේ පොදු මායිමක් සහිත රටවල් වලටයි. ලක්ෂ්‍යයකදී හමු වන රටවල් මෙයට අදාළ නෑ. කතාව තේරුම ගන්න බලමු පහත රූප සටහන් එක්ක.

පළවෙනි රූපයේ රතු පාටින් දැක්වෙන කළාප දෙක එකම රටකට අයිති නම් මෙම ප්‍රමේය අදාළ වෙන්නේ නැහැ. අපේ ලෝක සිතියම ගත්තත් මෙහෙම රටවල් පිහිටලා තියෙනව. දෙවෙනි රූපයේ තියෙන A සහ B රටවල් දෙක යාබද රටවල් විදියට ගණන් ගන්න බෑ දෙවෙනි පූර්ව අවශ්‍යතාවය අනුව. මොකද ඒ රටවල් දෙකට තියෙන්නේ පොදු ලක්ෂ්‍යයක් විතරයි. පොදු මායිමක් නෑ.

“වර්ණ හතරේ” ප්‍රමේයෙන් කියන්නේ ඉහත අවශ්‍යතා දෙකම  සපුරන ඕනෑම සිතියමක් යාබද රටවල් එකම පාට නොවෙන්න පාට කරන්න අවශ්‍ය වෙන්නේ පාට හතරයි කියලා. උදාහරණයක් විදියට පහතින් දැක්වෙන රූපය බලන්න. වර්ණ 4කින් මුළු සිතියමම පාට කරලා තියෙනවා, හැබැයි යාබද රටවල් වලට එකම පාට නෑ.

මෙම ගැටළුව සම්බන්ධ අදහස මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ දකුණු අප්‍රිකානු ජාතික ගණිතඥයෙක් සහ උද්භිද විද්‍යාඥයෙක් වන Francis Guthrie.  විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයකුව ඉද්දී ඔහු වරක් එංගලන්තයේ ප්‍රාන්තවල සිතියමක් පාට කරන විට දැකලා තියෙනවා ඉහත සඳහන් කළ විදියට සිතියම පාට කරන්න අවශ්‍ය වර්ණ 4යි කියලා. ඔහු මෙය තමාගේ සොයුරු  Fredrick හරහා සුප්‍රසිද්ධ ගණිතඥයෙක් De Morgan වන වෙත යොමු කරලා තියෙනවා. මතක ඇතිනේ De Morgan, අර කුලක වාදයේ, බූලියානු වීජ ගණිතයේ එහෙම පාවිච්චි වෙන De Morgan නියම ඉදිරිපත් කලේ.

මේ සිද්ධිය වෙන්නේ 1852 දී. De Morgan හරහා මෙම ගැටළුව ගණිතඥයින් අතර පැතිරෙන්න ගත්තා. හැබැයි 1976 වන තුරුම මෙය අනුමිතියක් (Conjecture) ව්දියට තමයි තිබුණේ. කිසි කෙනෙකුට සාධනයක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. අතරින් පතර සාධන කිහිපයක් ආවත් පසුකාලීනව ඒවගේ වැරදි හම්බ වෙලා තියෙනවා.අනුමිතියක් කියන්නේ බැලූ බැල්මට සත්‍යයක් විදියට පෙනෙන එහෙත් විධිමත් සාධනයක් නොමැති කරුණකුයි. මීට කළිනුත් සංචාරකයා ඒ වගේ අනුමිතින් දෙකක් ගැන කතා කරල තියෙනවා මතක ඇතිනේ. මතක නැත්නම් මෙන්න මේ යොමු දෙකන් බලන්නකෝ. (Kepler’s Conjecture, Collatz Conjecture)

දැනට 1976 දී ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ Kenneth Appel සහ Wolfgang Haken විසින් පරිඝනක ඇසුරෙන් ඉදිරිපත් කරපු සාධනය නිවැරදි යයි පිළි ගැණෙනවා.

Older Entries