පහුගිය දවසක කන්තෝරුවේ වැඩකට නොදන්නා භාෂාවක යුනිකේත අමුණ අමුණ ඉද්දි පොඩි කාලේ රහස් භාෂා එක්ක ඔට්ටු වුණු හැටි සංචාරකයාට මතක් වුණා. ඒ මතකයන් ටිකක් තමයි අද ලියන්න යන්නේ.
රහස් කේතනය ගැන සංචාරකයාගේ මතකයේ රැඳිච්ච පොත් කිහිපයක් තියෙනවා. පළමුවැන්න තමයි ‘ප්‍රහේලිකා’ කියලා පොතක්. කතුවරයා නම් මතක නෑ [මතක කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා කමෙන්ටුවක් දාන්න]. 1960 දශකයේ වගේ තමයි මුද්‍රණය කරල තිබ්බේ. ගණිතයට උනන්දුවක් දක්වන අයට ඉතාමත් හොඳ පොතක්. දෙදාහ අවුරුදුවල මුල් කාලේ අලුත් මුද්‍රණයක් ආවා වගේ මතකෙකුත් තියෙනවා. ඔය පොතේ තිබුණා සිංහල භාෂාවෙන් හදපු තවත් රහස් භාෂා සහ පණිවිඩ ගණනාවක්.
දෙවැන්න තමයි ‘රන් මකුණා සහ වෙනත් කතා’. මෙහි අන්තර්ගත වෙන්නේ ඒඩ්ගා ඇලන් පෝ විසින් රචිත කෙටි කතා කිහිපයක්. සිංහලයට පරිවර්තනය කරන්නේ කේ.ජී කරුණාතිලක මහත්මයා. මෙහි ‘රන් මකුණා’ කියන කතාවේ තියෙනවා ඉංග්‍රිසි හෝඩියට ආදේශක හෝඩියක් භාවිතා වන රහස් පණිවිඩයක් කියවා ගන්නා ආකාරය පියවරෙන් පියවර. ඉංගිරිසි භාෂාවෙන් ලියපු ලියවිල්ලක අකුරු තියෙන සාමාන්‍ය සංඛ්‍යාතයක් තියෙනවා. වැඩියෙන්ම තියෙන්නේ ‘e’ අකුර. කතාවේ හැටියට නම් ඊළඟට එනනේ ‘a’ අකුර, හැබයි පහත විකි පිටුවේ හැටියට නම් ඊළඟට තියෙන්නේ ‘t’ අකුර.
http://en.wikipedia.org/wiki/Letter_frequency
මේ විදියට අකුරුවල සාපේක්ෂ සංඛ්‍යාතය පාවිච්චි කරලා ඉංග්‍රිසි භාෂාවෙන් ගොඩනඟලා තියෙන රහස් පණිවිඩයක් විසඳන්න පුළුවන්. මේ අකාරයටම ෂර්ලොක් හෝම්ස් ආදේශක ගැටළුවක් විසඳනවා සර් ආතර් කොනන් ඩොයිල්ගේ ‘The Adventure of the Dancing Men’ කතාවේ. මේකේ පැහදිලි කරනවා අර උඩින් කියපු දෙවෙනි අකුරේ නොගැලපීමට උත්තරේ. සිංහල භාෂාවට මේ වාගේ අධ්‍යනයක් වෙලා තියෙනවද කියලා සංචාරකයා දන්නේ නෑ. හැබැයි වැඩේ ටිකක් සංකීර්ණ වෙයි කියලා හිතෙනවා. මොකද ඉංග්‍රිසි භාෂාවේ නම් ස්වරාක්ෂරවලට සහ ව්‍යඤ්ජනාක්ෂරවලට වෙන වෙනම අකුරු තියෙනවා. සිංහල භාෂාවේ ව්‍යඤ්ජනාක්ෂරයක් සහ ස්වරාක්ෂරයක් එක්වීමෙන් සෑදෙන ශබ්දයට වෙනම අකුරක් තියෙනවා. එතකොට හිතන්න යමක් තියෙනවා, සිංහල භාෂාවේ වැඩියෙන්ම භාවිතාවන ව්‍යඤ්ජනාක්ෂරය මොකක්ද? ඉංග්‍රිසිවල නම් ‘t’ අකුර. ඒක වෙන්නේ ‘the’ කියන වචනේ බහුලව භාවිතා වෙන හින්දා වෙන්න ඕනේ.
මීට වඩා වෙනස් ආකාරයක, සරල රහස් පණිවිඩයක් ෂර්ලොක් හෝම්ස් විඳනවා ‘The Gloria Scott’කියන කතාවේ. මෑත කාලීනව ආපු ඩෑන් බ්‍රවුන්ගේ පොත්වල මේ වාගෙ පණිවිඩ විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වෙනවා.
තවත් දෙයක් තියෙනවා නොකියාම බැරි, ඒ තමයි ඡායාරූප භාවිතා කරල පරිඝණක ඇසුරෙන් රහස් පණිවිඩ යවන්න පුළුවන්. වැඩිය විස්තර ලියන්න මේ ලිපිය ගොඩක් දික් වෙනවා. උනන්දුවක් තියෙන අය පහත විකි පිටුවෙන් බලන්න. ඔන්න ඔය උඩින් තියෙන ඡායාරූපයේ නම් එහෙම පණිවිඩ මොකුත් නෑ.
http://en.wikipedia.org/wiki/Steganography
අවසාන වශයෙන් සංදේශ කාව්‍යයයක එන කවියක් සුප්‍රසිද්ධ රහස් කේතන ක්‍රමයක් භාවිතා කරලා සංචාරකයා කේතනය කලා. උත්සාහයක් දාලා බලන්න කැමති අය.
“වසනඅ දිවනරෙදිල මිසලසිගව න්හැතු
සොල්බඅ බනිමිනුතුල මසුණිල්රපු න්න්වි
පරන්අ තවගියෙවැල සඅරිටිටෙක න්නැන
විත්රිඅ ලිරපවේවිඅ කුසුලනිමල න්වැඬ”
ප.ලි: ලිපිය පටන් ගද්දී නම් කලින් දවසක කියපු ප්‍රථමක සංඛ්‍යයා සහ අංක ගණිතයේ මූලික සිද්ධාන්තය ඇසුරෙන් ගොඩ නැඟෙන Public-Key Encryption ගැන ලියන්න හිතන් හිටියත් ලිපිය දික් වුණු නිසා අදහස අත ඇරලා දැම්මා. ඒ ගැන ඉදිරි ලිපියකින් ලියන්න සංචාරකයා බලාපොරොත්තු වෙනවා.
Paradox
Nov 14, 2010 @ 03:19:08
ඇයි මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා ?
සංචාරකයා
Nov 14, 2010 @ 04:34:53
කිසිම මතකයක් නෑනෙ ඒ ගැන. අර මුලින්ම දාන්තේට දෙන පණිවිඩයද?
Chanaka Aruna Munasinghe
Nov 14, 2010 @ 07:41:27
“අඹේපුස්ස පිටිගල ලෑතරකඩේ ස්ටීවන් තිලකරත්න අභාවප්‍රාප්ත විය”. ගුවන්විදුලියේ ප්‍රචාරය වෙච්ච ඔය මරණ දැන්වීම ගැන අහල නැද්ද ?
සංචාරකයා
Nov 14, 2010 @ 07:49:33
මීට කලින් අහලා නම් නෑ, ‘අපි ලෑස්තියි’ කියලද තියෙන්නේ?
Chanaka Aruna Munasinghe
Nov 14, 2010 @ 08:10:13
ඔව් ‘අපි ලෑස්ති’