මෙගා ස්ටාර් වැඩසටහන පහුගිය දවස් වල සෑහෙන කතාබහකට ලක් වුණානේ. සංචාරකයා මේ ලියන්න යන්නේ ඒ ‘මෙගා’ ගැන නම් නෙවේ. මේ ඇවිල්ලා ඩිජිටල් කැමරාවක මෙගාපික්සල් අගය ගැන පොඩි සටහනක්.

කව්රු හරි අළුත් ඩිජිටල් කමරාවක් ගත්තොත් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි “මෙගාපික්සල් කීයද” කියන එක. අළුතින් කැමරා ගන්න බොහොමයක් දෙනා වැඩි මෙගාපික්සල් ගණනක් සහිත කැමරා ගන්න බලනවා. අනික් අතට කැමරා නිෂ්පාදකයින් බොහෝ විට මෙගාපික්සල් ගණන වැඩියෙන් මාකට් කරනවා. හැබයි ඇත්තටම අපිට මෙගාපික්සල් කීයක් ඕනෙද ඩිජිටල් Point and Shoot කැමරාවක?

මුලින්ම, කැමරාවක මෙගාපික්සල් අගය කියන්නේ කැමරාවේ සංවේදකයේ තියෙන පික්සල් ගණන මෙගා විදියට [ඒ කියන්නේ 106න් බෙදලා] ලිව්වාම එන අගයට.  මතක ඇතිනේ කලින් ලිපියක D-SLR කැමරාවල සංවේදකය ගැන සංචාරකයා ලිපියක් ලිව්වා. එහි සඳහන් සංවේදකයේ සැකැස්මට අදාළ කරුණු ඩිජිටල් Point and Shoot කැමරාවලටත් අදාළයි.  උදාහරණයක් විදියට උපරිම  resolution එක 4000 x 3000 වන ඩිජිටල් කැමරාවක මෙගාපික්සල් ගණන වෙන්නේ 12යි.

(4000 x 3000)/10^6 = 12MP

ඩිජිටල් කැමරාවලින් ගන්න ඡායාරූපවලට කට්ටිය මොකද කරන්නේ?

බොහොමයක් දෙනා කරන්නේ ඡායාරූප අන්තර්ජාලයේ facebook වගේ තැන්වල පළ කරන එක. තවත් සමහරු පෝස්ට් කාඩ් ප්‍රමාණයට [4″x6″] ප්‍රමාණයට මුද්‍රණය කරලා ඇල්බම් හදනවා. කිහිප දෙනෙක් තමයි පෝස්ට් කාඩ් ප්‍රමාණයෙන් එහාට මුද්‍රණය කරන්නේ. [ සංචාරකයා මේ කියන්නේ ඡායාරූපකරණය වෘත්තියක් වශයෙන් කරන අයවත් ඡායාරූපකරණය විනෝදාංශයක් වශයෙන් බැහැලා කරන අයවත් ගැන නෙවේ].

දැන් බලමු ඔය එක එක අවස්ථාවට කොච්චර මෙගාපික්සල් ඕනෙද කියලා.  තිරයේ resolution එක 1280 x 800 වන laptop එකක් හිතමු. එතකොට මෙහි full screen අවස්ථාවෙදි පික්සල් වෙනම නොපෙනෙන්න ඡායාරූපයක් බලන්න අවශ්‍ය වන මෙගා පික්සල් ගණන වන්නේ

(1200 x 800)/10^6 ≈ 1MP

අන්තර්ජාලයට දාන ඡායාරූප full screen විදියට බලන අවස්ථාත් අඩුයි. එහෙම හිතුවාම අන්තර්ජාලයට අවශ්‍ය වන අවම resolution එක 640 x 480 වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ වැඩේට 1 MP කැමරාවක්වත් අවශ්‍ය නෑ කියන එකයි.  සාමාන්‍යයෙන් ඡායාරූප මුද්‍රණය කරන්නේ 300 dpi [Dots Per Inch] කියන අගයෙන්.  එතකොට පෝස්ට් කාඩ් ප්‍රමාණයේ ඡායාරූපයකට අවශ්‍යවන මෙගා පික්සල් ගණන වන්නේ

(4 x 300 x 6 x 300)/10^6 ≈ 2.2 MP

ඒ වැඩේට එතකොට මෙගාපික්සල් 3ක් 4ක් කැමරාවක් හොඳටමම් ඇති. මේ විදියට තමන් මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය අනුව අවශ්‍ය මෙගාපික්සල් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. ප්‍රතිඵල අනුව එදිනෙදා වැඩ වලට මෙගාපික්සල් 4-5න් එහාට ඕනේ වෙන්නෙ නැති තරම්.

වැඩි මෙගාපික්සල් ගණන්වල කැමරා සාමාන්‍යයෙන් මිල අධිකයි. ඊට අමතරව වැඩි resolution වල ගන්නා ඡායාරූප ගබඩා කිරීමට වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා. තවත් වැදගත් කාරණයක් වන්නේ වැඩි මෙගාපික්සල් ලබා ගන්න නිෂ්පාදකයින් පික්සල් වල ප්‍රමාණය අඩු කිරීම නිසා අඩු ආලෝක තත්ව යටතේ කැමරාවේ ප්‍රතිඵල දුර්වලවීමයි.

එතකොට මෙගාපික්සල් ඉහළ අගයන් ඕනේ වෙන වෙලාවල් මොනවද? කව්රු හරි ඡායාරූප අන්තර්ජාලයට දාන්න හරි මුද්‍රණය කරන්න හරි විශාල වශයෙන් crop කරනවානම් මේක ප්‍රයෝජනවත් වෙනවා.

මේ ගැන නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ David Pogue කියන මාධ්‍යයවේදියා ප්‍රායෝගික පරීක්ෂණයක් කරලා තියෙනවා. විස්තර පහත යොමුවෙන් ගන්න පුළුවන්.

http://www.nytimes.com/2007/02/08/technology/08pogue.html

ඔහු කරන්නේ මෙගාපික්සල් 7, 10 හා 16.7 න් එකම වස්තුව ඡායාරූපයට නඟලා 16” x 24” ප්‍රමාණයට මුද්‍රණය කරලා මහජන ප්‍රදර්ශනයට තබන එකයි. වෙනස අඳුරා ගත් ප්‍රමාණය ඉතාමත් අල්පයි කියලා තමයි කියන්නේ.

Advertisements