පහුගිය බදාදා තමයි සංචාරකයාට මේ සතුටුදායක පුවත දැන ගන්න හම්බ වුනේ. ඒ තමයි රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “අසෙනිය කුසුම” සාහිත්‍ය උළෙලට සමගාමීව පැවැත්වුණු සිංහල බ්ලොග්කරණ තරඟාවලියේදී සංචාරකයාගේ බ්ලොග් සටහටන ” හොඳම අධ්යාපනික බ්ලොග් අඩවිය” ” සම්මානය හිමි වෙලා තියෙනවා කියලා. ඉතින් සංචාරකයා එම සංගමයට සංචාරකයාගේ ගෞරව පූර්වක ස්තුතිය පිරිනමනවා.  මෙම ඇගයීමත්, මීට කලින් ටැබූගෙන් ලැබුණු ඇගයීමත් දෙකම තවතවත් ලියන්න සංචාරකයාට දිරියක්.  මෙම තරඟාවලියෙන් ජය ලැබූ අනෙකුත් බ්ලොග් අඩවිවලට සුබ පතන අතරම, මේ බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැමටත් සංචාරකයා ස්තුතිවන්ත වෙනවා.

හරි තුති කොටස ඉවරයි. දැන් මල් කොටසට …..


මේ තියෙන්නේ නිකන්ම නිකන් මල් රටාවක් නම් නෙවේ, Apophysis කියන මෘදුකාංගය භාවිතා කරලා හදපු පින්තූරයක්. මෙයාකාර චිත්‍ර වලට කියන්නේ Fractal Art කියලා. මෙයට අදාළ සිංහල වචනය නම් සංචාරකයා දන්නේ නැහැ.  මෙහිදී කරන්නේ ගණිතයම සූත්‍ර recursively [යළි යළිත්] භාවිතා කරල දෘශ්‍ය කලා නිර්මාණ කරන එකයි. සංකල්පය 17වන ශත වර්ෂයේ ඉඳලා ගණිතඥයින් අතර තිබුනත් වඩාත් ප්‍රායෝගිකව භාවිතයට එන්නේ පරිඝනක ආවයින් පසුවයි.

ඉතාමත් සරල උදාහරණයක් අරන් සංකල්පය පැහැදිලි කර ගමු බලන්න. මේකට කියන්නේ කොච් හිමපියල්ල [Koch snowflake] කියලා. මේකේ නිර්මාතෘ තමයි ස්වීඩන් ජාතික ගණිතඥයෙක් වන Helge von Koch.

මුලින්ම සරල රේඛා ඛණ්ඩයක් ගන්න. ඒක සමාන කොටස් තුනකට බෙදන්න. එයින් මැද කොටස පාදය වෙන්නේ සමපාද ත්‍රිකෝණයක් ගොඩ නඟන්න. ඊට පස්සේ පාදය වුණු රේඛා ඛණ්ඩය ඉවත් කරන්න [රූපය 1]. හිම පියල්ල හදන්න සමපාද ත්‍රිකෝණයකින් පටන් ගෙන දිගට කරගෙන යන්න ඕනේ පහත රූපයේ විදියට [රූපය 2]. හිම පියල්ලක ස්වරූපය එන්න නම් තව කිහිප සැරයක් කරන්න වෙනවා.

මීට වඩා බෙහෙවින් සංකීර්ණ නිර්මාණ වර්තමානයේ පරිඝනක මෘදුකාංග මඟින් ගොඩ නඟන්න පුළුවනි. Apophysis ගැන කියනවා නම් එය නොමිලේ බාගත කිරීමට දෙන මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය හරහා මෙවැනි චිත්‍ර ගොඩ නඟන එක ඉතාමත් පහසුයි.  හැබයි හිතේ තියෙන දෙයක් ඒ විදියටම ගොඩ නඟන්න නම් ඉතාම අමාරුයි. ඇත්තටම ඒක තමයි Fractal Art වල තියෙන සුන්දරත්වය.

Advertisements