කලනය, ඉංග්‍රිසියෙන් කියනවා නම් Calculus කියන්නේ අනිකුත් ක්ෂේත්‍රවල  බහුලව භාවිතා වන ඒක් ගණිත අංශයක්.  ඇත්තටම කලනය නැත්නම් අද ලෝකය මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ජීව විද්‍යාව, සමාජ විද්‍යාව වගේම ඉංජිනේරු තාක්ෂණය, සංනිවේදන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය වගේ අංශ ගණනාවකම කලනයේ සෘජු භාවිතයන් දකින්න පුළුවන්.

ක්‍රිස්තු පූර්ව අවධිවල ඉඳලා කලනයට අදාළ යම් යම් අදහස් විවිධ ගණිතඥයන් අතර තිබුණත් අද කලනය කියල උගන්වන සංකල්ප  ක්‍රමාණුකූල ලෙස ගොඩ නැඟෙන්නේ දහ හත් වන ශත වර්ෂයේදියි.  දහ හත් වන සියවසේ අග භාගයේ යුරෝපීය ගණිතඥයන් දෙදෙනෙකු විසින් කලනයේ සංකල්ප ස්වාධීනව ගොඩනඟනවා. කලබගෑනිය ඇතිවන්නේ පසුකාලීනව මේ දෙදෙනා සහ ඔහුගේ අනුගාමිකයින් මුලින්ම කලනය සොයා ගත්තේ කවුරුන්ද කියන එකට මහා වාදයක් ඇති කර ගන්න නිසයි.

මෙයට අදාළ පළමු වැන්නා තමයි සර් අයිසෙක් නිව්ටන්. ඔහු ගැන ආයේ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ නේ. දෙවැන්නා තමයි ගොට්ෆ්‍රිඩ් ලීබ්නස්. මොහු සර් අයිසෙක් නිව්ටන්ට සාපේක්ෂව ටිකක් විතර අඩුවෙන් කියවෙන කෙනෙක් හින්දා පොඩි විස්තරයක් කියන්නම්. ගොට්ෆ්‍රිඩ් ලීබ්නස්  කියන්නේ ක්‍රි.ව 1646-1716 කියන කාල පරාසයේ ජීවත් වූ ජර්මන් ජාතික ගණිතඥයෙක්. ගණිතයට, භෞතික විද්‍යාවට කරන ලද දායක වීම වලට අමතරම මොහුගේ නම කියවෙනවා වර්තමාන තොරතුරු තාක්ෂණයේදීත්. හේතුව තමයි ඔහු විසින් 1694 දී යාන්ත්‍රික ගණක යන්ත්‍රයක් නිපදවීම.

ගොට්ෆ්‍රිඩ් ලීබ්නස්  ක්‍රි.ව 1674-1684 කාලවකවානුවේ කලනයේ සංකල්ප ගොඩ නඟලා ක්‍රි.ව  1684 දී එවා ප්‍රසිද්ධ කරනවා.  අනික් පැත්තෙන් සර් අයිසෙක් නිව්ටන් ක්‍රි.ව  1666 ඉඳලා කලනයේ සංකල්ප ගොඩ නැංවීම වෙනුවෙන් වැඩ කරනවා. හැබැයි ඔහු එවා සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ කරන්නේ ක්‍රි.ව  1704 දී.  ඊට කළින් අවස්ථා දෙකකදී [ 1687 දී සහ 1693 දී ] තමාගේ සොයා ගැනීම අර්ධ වශයෙන් ප්‍රකාශයට පත් කරනවා.

මේ දෙදෙනා එකිනෙකාගේ අධ්‍යයන ගැන මඳ වශයෙන් දැන සිටියත් දෙදෙනාම එක ප්‍රථ්ඵලය කරා මාර්ග දෙකකින් ගමන් කරන බව තේරුම් ගත්තේ නෑ. ඒකට ඒ කාලේ සංනිවේදනයේ තිබුණු දුර්වලතාත් හේතුවක් වුණා කියලා කියනවා. අද කාලේ නම් යමක් හොයා ගත්තාම අන්තර්ජාලයෙ පළ කළාම ලෝකයම දැන ගන්නවා. කොහොම හරි කලනයේ අයිතිය සම්බන්ධයෙන් ක්‍රි.ව 1700-1715 කාලයේ සෑහෙන විවාදයක් ඇති වෙනවා. ඒවකට රාජකීය සංගමයේ සභාපතිව සර් අයිසෙක් නිව්ටන් ට බොහෝ දෙනෙක්ගේ සහයෝගය ලැබුණා. හැබැයි ලීබ්නසුත් අත අරින්නේ නෑ, ඔහු තමගේ පුද්ගලික දින සටහන් පෙන්නලා සාධක ඉදිරිපත් කළා තමන් සර් අයිසෙක් නිව්ටන්ගෙන් ස්වායක්තව වෙනමම මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමෙන් කලනය සොයා ගත් බවට.  ලීබ්නස් කලනයට වෙනමම දායක වුණු බවට පිළි ගැනීම ලැබෙන්නේ ඔහුගේ මරණයෙනුත් පස්සෙයි. වර්තමානයේ කලනයේ බහුලව භාවිතා වන dy/dx, ∫ වැනි සංකේත ලීබ්නස් විසින් හඳුන්වා දුන් ඒවා වන අතර ÿ වැනි සංකේත නිව්ටන් විසින් හඳුන්වා දුන් ඒවා වෙනවා.

මේ සම්බන්ධයෙන් නීල් ස්ටීවන්සන්ගේ “The Baroque Cycle කියන තුන් ඈඳුදු  නවතකාතාවේ සෑහෙන විස්තරයක් කියලා තියෙනවා කියල සංචාරකයා අහලා තියෙනවා. වෙළුම් තුනකින් යුතු මෙම දීර්ඝ නවකතාව පොත් 8කින් යුක්තයි. තවමත් සංචාරකයා කියවලා තියෙන්නේ පළමු වෙළුමේ පළමු පොත වන “Quicksilver” කියන එක විතරයි.  පොත ගැන පොඩ්ඩක් කියනවා නම් සමකාලීන විද්‍යාඥයන්, ගණිතඥයන් වන  ගොට්ෆ්‍රිඩ් ලීබ්නස්  ,අයිසෙක් නිව්ටන්, රොබට් හූක්, රොබට් බොයිල් වැන්නවුන් මේ පොතේ එන චරිත. භාෂා විලාශය නම් ටිකක් විතර දීර්ඝයි. ඒ වුණත් කතාව නම් හරිම සිත්ගන්නාසුළුයි.

Advertisements