අසරුවාගේ අමුතු ගමන

4 Comments

පහුගිය දවසක සංචාරකයාට දූරං ගමන් ඒකං චරං කරන්න වෙන හින්දා දඩි බිඩි ගාල පොත් සාප්පුවකට ගිහින් පොතක් ගත්තා කියව කියව යන්න.  හදිස්සියට ගත්තත් තේරීම නරක වුණේ නැහැ.  පොතේ නම තමයි ‘The Eight’ . කතුවරිය වන්නේ අමරිකානු ජාතික කැතරින් නෙවිල් [Katherine Neville].

අට වන ශත වර්ෂයේ බටහිර යුරෝපයේ හිටපු චාලිමේන් අධිරාජ්‍යයයාට මුවර් ජාතිකයින් වගයකින් ලැබුණු චෙස් පුවරුවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. මෙම චෙස් පුවරුවේ ශිෂ්ටාචාර ඇතිවීම, විනාශ වීම සම්බන්ධ රහසක් සඟවලා තියෙනවා කියල කියනවා. පොතේ තියෙන්නේ කාල දෙකකදී දෙපිරිසක් මේ රහස හොයා ගන්න දරණ උත්සාහයයි. ප්‍රබන්ධනාත්මක චරිතවලට අමතරව බොහෝ දෙනෙක් අහලා තියෙන ප්‍රසිද්ධ චරිත කිහිප දෙනෙකුත් ඉන්නවා. ඒ අතරින් රුසියාවේ දෙවෙනි කැතරින් රැජිණ, සුප්‍රසිද්ධ චෙස් ක්‍රීඩකයෙක් වුණු පිළිදෝර්, ගණිතඥයෙක් වන ලියොනාර්ඩ් ඔයිලර් , නැපෝලියන් බොනපාට් වැන්නවුන් විශේෂයි.

පොතේ අනික් විශේෂත්වය තමයි, චරිත ගති ලක්ෂණ සහ හැකියාවන් අනුව චෙස් පෙතේ ඉත්තන්ට අනුගත කරලා තියෙන එක. උදාහරණයක් විදියට පොතේ එන වර්තමානයේ, කණ්ඩායම් දෙකක් චෙස් පුවරුව එකලස් කරන්න උත්සාහ කරනවා. ඉතින් දෙපැත්තෙම රජවරු, රැජිණියන්, නයිට් වරු එහෙම ඉන්නවා. සැබෑ ජීවිතයේදී මොවුන් ව්‍යාපාරිකයින්, විද්‍යාඥයින්, පරිඝණක ඉංජිනේරුවන් වගේ විවිධ අයයි.

කොහොමින් හරි අද ලියන්න යන්නේ මේ පොතේ තැන් කිහිපයකම සඳහන් වුණු ප්‍රසිද්ධ ගණිත ගැටළුවක් ගැනයි.  ගැටළුව චෙස් පෙතකට සම්බන්ධයි. මතක ඇතිනේ මීට කලින් දවස් දෙකක සංචාරකයා චෙස් ක්‍රීඩාව සම්බන්ධ ගැටළු ගැන කිව්වා.

පරෙවි කූඩු සිද්ධාන්තය

වි‍යැට ප්‍රශ්නය කෙසේද යත් …………….

චෙස් ක්‍රීඩාවේ එන එක ඉත්තෙක් තමයි නයිට්, එහෙමත් නැත්නම් අසරුවා. නයිට් චෙස් පෙතේ ගමන් කරන්නේ L හැඩයටනේ.

Knight’s Tour කියන මෙම ගැටළුවෙන් අහන්නේ මොකක් හරි කොටුවකින් පටන් අරන් නයිට් කෙනෙකුට එක කොටුවකට දෙපාරක් එන්නේ නැතුව චෙස් පෙතේ කොටු 64ටම යන්න පුළුවන්ද කියන එක. [ගැටළුව 1 කියමු]

විකි පිටුවේ හැටියට නම් මෙම ගැටළුව ක්‍රි.ව 9 වෙනි ශත වර්ෂයට යනකම් යනවා. අර්ධ චෙස් පුවරුවක මෙම ගැටළුවට උත්තරය සංස්කෘත කවියක තියෙනවා කියලා තමයි කියන්නේ.

http://en.wikipedia.org/wiki/Knight’s_tour

ලියොනාර්ඩ් ඔයිලර් තමයි මේ පිළිබඳව අධ්‍යනය කළ පළමු ගණිතඥයා. ඒ නිසාම තමයි ඔහු ‘The Eight’ පොතේ චරිතයක් වෙලා තියෙන්නේ. මෙම ගැටළුවෙන් තවත් ගැටළු දෙකක් ගොඩ නඟන්න පුළුවන්.

ගැටළුව 2 – ගැටළුව 1කේ විදියට කොටු 64ටම ගිය නයිට් කෙනෙකුට 65 වෙනි පිම්ම විදියට ගමන ආරම්භ කළ කොටුවට එන්න පුළුවන්ද?

ගැටළුව 3 – ගැටළුව 2කේ විදියට යන ගමනකට එක් එක කොටුවට 1,2,3,4 ආදී වශයෙන්  අංක යෙදුවොත් මැජික් කොටුවක් ගොඩ නැඟෙන ආකාරයේ උත්තර තියෙනවද?

මෙවැනි ගැටළු අයිති වෙන්නේ ගණිතයේ Graph Theory කියන කොටසට. මෙම ගැටළුව Computer Algorithms ඉගෙන ගත්ත  අයට නම් මතක ඇති. Algorithms Course වල අභ්‍යාසයක් වශයෙන් බොහෝ දුරට මේක දෙනවා. ලිපිය ලියද්දි නම් උත්තර ගැනත් පොඩ්ඩක් ලියන්නම් කියලා තමයි හිටියේ, ලිපිය දිග වැඩිවෙන හින්දා ඒ ටික වෙන දවසකට කල් දානවා.

රහස් සඳෙස්

5 Comments

පහුගිය දවසක කන්තෝරුවේ වැඩකට නොදන්නා භාෂාවක යුනිකේත අමුණ අමුණ ඉද්දි පොඩි කාලේ රහස් භාෂා එක්ක ඔට්ටු වුණු හැටි සංචාරකයාට මතක් වුණා. ඒ මතකයන් ටිකක් තමයි අද ලියන්න යන්නේ.

රහස් කේතනය ගැන සංචාරකයාගේ මතකයේ රැඳිච්ච පොත් කිහිපයක් තියෙනවා.  පළමුවැන්න තමයි ‘ප්‍රහේලිකා’ කියලා පොතක්. කතුවරයා නම් මතක නෑ [මතක කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා කමෙන්ටුවක් දාන්න]. 1960 දශකයේ වගේ තමයි මුද්‍රණය කරල තිබ්බේ. ගණිතයට උනන්දුවක් දක්වන අයට ඉතාමත් හොඳ පොතක්. දෙදාහ අවුරුදුවල මුල් කාලේ අලුත් මුද්‍රණයක් ආවා වගේ මතකෙකුත් තියෙනවා. ඔය පොතේ තිබුණා සිංහල භාෂාවෙන් හදපු තවත් රහස් භාෂා සහ පණිවිඩ ගණනාවක්.

දෙවැන්න තමයි ‘රන් මකුණා සහ වෙනත් කතා’. මෙහි අන්තර්ගත වෙන්නේ ඒඩ්ගා ඇලන් පෝ විසින් රචිත කෙටි  කතා කිහිපයක්. සිංහලයට පරිවර්තනය කරන්නේ කේ.ජී කරුණාතිලක මහත්මයා.  මෙහි ‘රන් මකුණා’ කියන කතාවේ තියෙනවා ඉංග්‍රිසි හෝඩියට ආදේශක හෝඩියක් භාවිතා වන රහස් පණිවිඩයක් කියවා ගන්නා ආකාරය පියවරෙන් පියවර.  ඉංගිරිසි භාෂාවෙන් ලියපු ලියවිල්ලක අකුරු තියෙන සාමාන්‍ය සංඛ්‍යාතයක් තියෙනවා. වැඩියෙන්ම තියෙන්නේ ‘e’ අකුර. කතාවේ හැටියට නම් ඊළඟට එනනේ ‘a’ අකුර, හැබයි පහත විකි පිටුවේ හැටියට නම් ඊළඟට තියෙන්නේ ‘t’ අකුර.

http://en.wikipedia.org/wiki/Letter_frequency

මේ විදියට අකුරුවල සාපේක්ෂ සංඛ්‍යාතය පාවිච්චි කරලා ඉංග්‍රිසි භාෂාවෙන් ගොඩනඟලා තියෙන රහස් පණිවිඩයක් විසඳන්න පුළුවන්. මේ අකාරයටම ෂර්ලොක් හෝම්ස් ආදේශක ගැටළුවක් විසඳනවා සර් ආතර් කොනන් ඩොයිල්ගේ ‘The Adventure of the Dancing Men’ කතාවේ. මේකේ පැහදිලි කරනවා අර උඩින් කියපු දෙවෙනි අකුරේ නොගැලපීමට උත්තරේ.  සිංහල භාෂාවට මේ වාගේ අධ්‍යනයක් වෙලා තියෙනවද කියලා සංචාරකයා දන්නේ නෑ. හැබැයි වැඩේ ටිකක් සංකීර්ණ වෙයි කියලා හිතෙනවා. මොකද ඉංග්‍රිසි භාෂාවේ නම් ස්වරාක්ෂරවලට සහ ව්‍යඤ්ජනාක්ෂරවලට වෙන වෙනම අකුරු තියෙනවා. සිංහල භාෂාවේ ව්‍යඤ්ජනාක්ෂරයක් සහ ස්වරාක්ෂරයක් එක්වීමෙන් සෑදෙන ශබ්දයට වෙනම අකුරක් තියෙනවා. එතකොට හිතන්න යමක් තියෙනවා, සිංහල භාෂාවේ වැඩියෙන්ම භාවිතාවන ව්‍යඤ්ජනාක්ෂරය මොකක්ද? ඉංග්‍රිසිවල නම් ‘t’ අකුර. ඒක වෙන්නේ ‘the’ කියන වචනේ බහුලව භාවිතා වෙන හින්දා වෙන්න ඕනේ.

මීට වඩා වෙනස් ආකාරයක, සරල රහස් පණිවිඩයක් ෂර්ලොක් හෝම්ස් විඳනවා ‘The Gloria Scott’කියන කතාවේ. මෑත කාලීනව ආපු ඩෑන් බ්‍රවුන්ගේ පොත්වල මේ වාගෙ පණිවිඩ විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වෙනවා.

තවත් දෙයක් තියෙනවා නොකියාම බැරි, ඒ තමයි ඡායාරූප භාවිතා කරල පරිඝණක ඇසුරෙන් රහස් පණිවිඩ යවන්න පුළුවන්. වැඩිය විස්තර ලියන්න මේ ලිපිය ගොඩක් දික් වෙනවා. උනන්දුවක් තියෙන අය පහත විකි පිටුවෙන් බලන්න. ඔන්න ඔය උඩින් තියෙන ඡායාරූපයේ නම් එහෙම පණිවිඩ මොකුත් නෑ.

http://en.wikipedia.org/wiki/Steganography

අවසාන වශයෙන් සංදේශ කාව්‍යයයක එන කවියක් සුප්‍රසිද්ධ රහස් කේතන ක්‍රමයක් භාවිතා කරලා සංචාරකයා කේතනය කලා. උත්සාහයක් දාලා බලන්න කැමති අය.

වසනඅ දිවනරෙදිල මිසලසිගව න්හැතු

සොල්බඅ බනිමිනුතුල මසුණිල්රපු න්න්වි

පරන්අ තවගියෙවැල සඅරිටිටෙක න්නැන

විත්රිඅ ලිරපවේවිඅ කුසුලනිමල න්වැඬ

ප.ලි: ලිපිය පටන් ගද්දී නම් කලින් දවසක කියපු ප්‍රථමක සංඛ්‍යයා සහ අංක ගණිතයේ මූලික සිද්ධාන්තය ඇසුරෙන් ගොඩ නැඟෙන Public-Key Encryption ගැන ලියන්න හිතන් හිටියත් ලිපිය දික් වුණු නිසා අදහස අත ඇරලා දැම්මා. ඒ ගැන ඉදිරි ලිපියකින් ලියන්න සංචාරකයා බලාපොරොත්තු වෙනවා.