මීට කලින් දවසක ලිපියක ලිව්වා මතක ඇතිනේ කැමරාවක සංවේදකයේ (sensor) ප්‍රමාණය අනුව කැමරා වර්ගීකරණය වන ආකාරය. අද ලියන්න යන්නේ D-SLR කැමරා එකේ භාවිතා වන සංවේදක තාක්ෂණය අනුව කැමරා වර්ගීකරණය වන හැටි සහ D-SLR කැමරාවක් තෝරා ගැනීමේදී මෙය වර්තමානයේ කොතරම් දුරට අදාළද කියන එකයි.

කැමරාවේ සංවේදකය කරන්නේ එය මතට පතිත වන ආලෝකය විද්‍යුත් සංඥාවක් බවට හරවන එකයි. ප්‍රධාන වශයෙන් D-SLR කැමරාවල භාවිතා සංවේදක වන වර්ග දෙකක් තියෙනවා.  ඒ තමයි

1) CCD (Charge Coupled Device ) Sensors

2) CMOS (Complementary Metal Oxide Semiconductor) Sensors

සංවේදක වර්ග දෙක වැඩ කරන හැටි ගැඹුරින් මෙතන විස්තර කරන්න සංචාරකයා බලාපොරොත්තු වෙන්නේ නෑ මොකද ඒ සඳහා ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පොඩි සංකල්ප වගයක් ඕනේ වෙන නිසා. සරලව කියනවා නම් සංවේදක දෙකේම මුලින්ම වෙන්නේ එක් එක් pixel [pixel හැදිලා තියෙන්නේ ඉතා කුඩා ධාරිත්‍රකවලින් – capacitor ]මතට වැටෙන ආලෝකය ආරෝපණයක් (charge) බවට පත් කිරීමයි. වෙනස වෙන්නේ එම ආරෝපණ වෝල්ටීයතාවයක් (voltage) බවට හරවලා කියවා ගන්නා අකාරය අනුවයි. CCD සංවේදකයේදී ධාරිත්‍රකවල ආරෝපණ ක්‍රමාණුකූල පිලිවෙළකට යාබද ධාරිත්‍රකවලට මාරුකරලා පොදු ප්‍රතිදාන පද්ධතියකින් [output system] වෝල්ටීයතාවයක් බවටත් පසුව අංකිත සංඥාවක් [Digital Signal] බවටත් පත් කර ගන්නවා.  CMOS සංවේදකයේදී ආරෝපණය වෝල්ටීයතාවයක් බවට පත් කිරීම එක එක pixel එකට වෙන වෙනම සිද්ධ වෙනවා. මෙන්න මේ වෙනස නිසා මේ සංවේදක වර්ග දෙකේ ගති ලක්ෂ්ණ වෙනස් වෙනවා.

සාමප්‍රදායිකව එන මේ ගති ලක්ෂ්ණ ටික කියනවා නම්

1)      CMOS සංවේදකයක නිෂ්පාදන වියදම CCD වලට සාපේක්ෂ්ව අඩුයි.

2)      CMOS සංවේදකවල power consumption එක සාපේක්ෂ්ව අඩුයි.

3)      CCD සංවේදක වල අලෝකය ග්‍රහණය කර ගැනීමේ හැකියාව සාපේක්ෂ්ව වැඩි අතර ඡායාරූපයට අනවශ්‍ය සංඥා (noise) ඇතුළු වීම අඩුයි.

4)      CMOS සංවේදකවල වේගය වැඩියි. එනම් ඡායාරූප දෙකක් අතර කාල පරාසය සාපෙක්ෂව අඩුයි.

5)  CCD තාක්ෂණය සෑහෙන කාලයක ඡාරූපකරණයේ භාවිතා වීම නිසා එය ඡාරූපකරණයට අදාල විදියට හැඩ ගැහිලා තියෙනවා. CMOS තාක්ෂණය ඡායාරූපකරණයට තරමක් දුරට අලුත්.

දැන් බලමුකෝ මේ දවස්වල ගන්න තියෙන කැමරාවල තියෙන සංවේදක වර්ග මොනවද කියලා. සංචාරකයා පහත ලයිස්තුව ගොඩ නැඟුවේ ලෝකයේ D-SLR සඳහා ඉදිරියෙන්ම ඉන්න සමාගම් පහේ වෙබ් අඩවිවලින් ගත්ත දත්ත අනුවයි.. ඒ නිසා බොහේ දුරට සියළුම කැමරා පාහේ වර්තමානයේ නිෂ්පාදනය වෙන ඒවයි. නිෂ්පාදනය අත්හිටවපු මාදිලි මෙම වගුවේ නෑ කියලා 95%ක විතර විශ්වාසයකින් කියන්න පුළුවනි.

CMOS

Nikon : D3X, D3s, D700,  D300s, D7000, D90,  D5000, D3100

Canon: EOS-1Ds Mark III, EOS-1D Mark IV, EOS-1D Mark III, EOS-5D Mark II, EOS-7D Digital, EOS-60D, EOS-50D Digital, EOS Rebel T2i EFS (550D), EOS Rebel T1i EFS (500D), EOS Rebel XSi (450D), EOS Rebel XS (1000D)

Pentax: K-5, K-r, K-x ,K-7

Sony: α500, α33, α55, α550, α580, α850, α900


CCD

Nikon: D3000

Canon: No models

Pentax: 645D

Sony: α290, α390

පස්වන නිෂ්පාදකයා වශයෙන් බලපු Olympus වල සංවේදක වර්ගය වෙනස් එකක්. Live MOS කියන මේ  තාක්ෂණය ගැන කියන්න සංචාරකයා වැඩිය දන්නේ නැහැ. පුංචි විස්තරයක් මේ විකිපීඩියා ලින්ක් එකේ තියෙනවා.

[http://en.wikipedia.org/wiki/Live_MOS]

ඔලිම්පස් කැමරා අමතක කළොත් වර්තමානයේ CCD වලට තියෙන තැන පේනවා නේද? එයිනුත් D3000 සහ α290, α390 කියන්නේ ආධුනික මට්ටමේ D-SLR කැමරා. Pentax 645D තරමක වෙනස් format එකක කැමරාවක්. ඒක සාමන්‍යයෙන් භාවිතා වන FX, DX format කැමරාවක් නෙවේ. ඉතාමත් මිල අධික medium format කැමරා එකක්.

තියෙන තත්වේ හැටියට ඕනේ වුණත් CCD කැමරා එකක් ගන්න විදියක් නෑ. මේකට හේතුව තමයි පසුගිය අවුරුදුවල  CMOS තාක්ෂණය ඡායාරූපකරණය පැත්තෙන් ගොඩාක් ඉදිරියට ඒම.

ඒ නිසා D-SLR කැමරාවක් හොයනවා නම් මේක තව දුරටත් ප්‍රශ්නයක් නෙවේ. [ඇත්තමට සංචාරකයා මේ ලිපිය ලිව්වෙත් මේ ප්‍රශ්නය ළඟකදී මිතුරෙක්ගෙන් යොමු වුණු නිසා]. හැබැයි දැනට අවුරුදු 3-4කට කලින් තත්වය ඒක නෙවේ. ඒ කාළේ Nikon කැමරා CCD වුණු අතර [උදා:- Nikon D40x, Nikon D80 ] Canon කැමරා CMOS වුණා. එතකොට නම් පොඩ්ඩ්ක් හිතන්න වුණා. වර්තමානයට එම ප්‍රශ්නය අදාළ නෑ.