ජයග්‍රාහකයාගේ පරාජය

6 Comments

ලෝක චෙස් ශූරයා පරිඝනකය හමුවේ අන්ත පරාජයක

 පසුගිය දින කිහිපයේ වත්මන් ලෝක චෙස්  ශූර රුසියානු ජාතික වැසිලි චෙබෂෙව් හා ලොව නවීනතම චෙස් පරිඝනකය වන කැසිනි -II අතර පැවති තරගයෙන්, පරිඝනකය 10-0ක් වශයෙන් ඉතා පහසු ජයක් ලැබීය.  ලෝක චෙස් ශූරයෙක් පරිඝනයක් හමුවේ මෙලෙස දරුණු පරාජයක් ලද ප්‍රථම අවස්ථාව මෙය වන අතර කළින් ලෝක ශූරයා වූ චීන ජාතික ඩින් හාඕ සිලිකන් විස්ඩම් සමාගමේ පළමු නිපැයුම වන කැසිනි – I වෙතින් පරාජය වූයේ 5.5-4.5 තරම් තියුණු පරතරයකිනි. මෙය මානව ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් වනු ඇති බව සමාගම ප්‍රකාශ කරයි.

තරගාවලිය අගෝස්තු මස 5 සිට 28 දක්වා රුසියාවේ කසාන් නගරයේදී පැවත්වුණි……..“,

තවත් වෙහෙසකර දිනයක් අවසන නගරයේ සුපුරුදු අවන්හලට ගොඩවී වොඩ්කා වීදුරුවක් පානය කරමින් පුවත්පත අතට ගත් මට මගේ දෑස් අදහා ගත නොහැකි විය. බොහෝ චෙස් ලෝලීන් මෙන්ම මමද මෙම තරගය 50-50 අවස්ථාවක් ලෙස දුටුවෙමි. ජයග්‍රාහකයා කවුරුන් වුවත් ජයග්‍රාහී පරතරය ඉතා කුඩා වනු ඇත යන්න බොහෝ දෙනාගේ මතය විය. මෙය සිදු වූයේ කෙසේද? පුවත්පත දෙස බලාගෙනම මම කල්පනා කරන්නට පටන් ගතිමි.

නැගෙනහිර රුසියාවේ කෙළවරට වෙන්නට පිහිටා තිබෙන අපේ කුඩා නගරය ගැන බාහිර ලෝකයේ කිසිවෙකු කතා කරයි නම් ඒ ලෝක චෙස් ශූර වැසිලි චෙබෂෙව්ගේ උපන් නගරය වශයෙනි. කුඩා කල ඔහු සිය මවත් සමග වාසය කලේ ගඟ අසබඩ පිහිටි කුඩා නිවසකය. මට මතක ඇති කාලයේ සිටම ඔහුගේ පියා සිටියේ නැති අතර වැසිලිගේ මව නගරයේ තිබූ එකම රස කැවිලි කඩය පවත්වාගෙන ගියාය. පාසලේදී වැසිලි මට වඩා එක් පන්තියක් ඉහළින් සිටියේය.  මා ඔහු ගැන වඩාත් දැන ගත්තේ පන්ති කිහිපයක් ඒක් කොට පවත්වන චෙස් පාඩමේදීය. අන්තිම කම්මැලි ගණිතය, විද්‍යාව, භාෂාව වැනි කාල පරිච්ඡේද වලින් පසුව එන චෙස්  පාඩම අපේ ප්‍රියතම වේලාව විය. චෙස් පුහුණුකරුවාගේ තරග ආරම්භක සංකල්ප, උපාය මාර්ග, අග තරගයේ විධි ක්‍රමවලටත් වඩා අප ආසා කලේ අප එකිනෙකා සමග ක්‍රීඩා කිරීමට දෙන අවසන් පැයටය. ඒ අවධියේ වැසිලි දක්ෂ ක්‍රීඩකයෙක් වුවත් දක්ෂතමයා නොවීය. අපේ චෙස් පුහුණුකරුවාගේ ප්‍රියතම ගෝලයා වූයේ මුල් ගුරුතුමාගේ පුතා වැල්ඩමීර්ය. වරක් විද්‍යාල තරගාවලියේදී වැල්ඩමීර් පැරද්දීමට වැසිලිත් මමත් එක් දිගට ඔවුන්ගේ රසකැවිලි සාප්පුවේදී සැන්දෑ කාලයේ හමුවී පුහුණුවීම්වල නිරත වුණු හැටි මට අද වගේ මතකය. එහෙත් අප දෙදෙනාට අනු ශූරයන් වී සෑහෙන්නට විය. ඒ දස වසරකට පෙරය.

වැසිලි අපේ නගරයෙන් අතුරුදහන් වූයේ ඔහුගේ මවගේ මරණයෙන් දින කිහිපයකට පසුවය. වසර ගණනාවකින් ආ දරුණුතම සිසිරය ඇයට දරා ගත නොහැකි විය. අපි වැසිලි සොයා ගැනීමට දැරූ සෑම උත්සාහයක්ම නිෂ්ඵල වූ අතර ඔහු මවගේ මරණයේ සොවින් ඔහේ ඇවිදින්නට යන්න ඇත කියා සිතුවෙමු.

පස් වසරකට පසු අපිට වැසිලි ගැන අසන්නට ලැබුණේ මොස්කව් නුවරිනි. චෙස් ක්‍රීඩකයන්, ලෝලින්, විෂ්ලේශකයන් පුදුමයට පත් කරමින්, පෙර තරග වාර්තා කිසිවක් නැති වැසිලි චෙබෂෙව් නම් ක්‍රීඩකයෙක් රුසියානු විවෘත ශූරතාවය  දිනා ගෙන ඇත. ජායාරූපය දැකීමෙන්ම ඒ අපේ වැසිලි බව අපට තහවුරු විය. එතැන් වැසිලි චෙබෂෙව්  පටන් චෙස් ලොව පතාක යෝධයෙක් වෙමින් තමා සහභාගී වූ තරගාවලි අතලොස්සක්  හැරුණු විට සෙසු සියල්ල ජයග්‍රහණය කළේය. සියළු ජයග්‍රහණවලට ඉහළින් වන ලෝක චෙස් ශූරතාවය දිනා ගැනීමට ඔහුට පසුගිය වසරේ හැකි විය.

ඔහුගේ තරග රටාව පසුගිය ලෝක ශූරයන්ට වඩා බෙහෙවින් වෙනස්ය. ඔහු ගැරි කස්පරොව් තරම් උපාය මාර්ගවල ප්‍රවීණයෙක් නොවේ. මිකායිල් ටාල් මෙන් ආක්‍රමණකාරී නැත. එමෙන්ම ටිග්‍රින් ප්‍රෙටොසියන් මෙන් අවස්ථානුකූල ක්‍රීඩා විලාශයක් නොපෙන්වයි. විෂ්ලේශකයන් පවසන්නේ ඔහු ප්‍රතිවාදියාගේ තරග රටාවට අනුගත වෙමින් තම තරග උපක්‍රම වෙනස් කරන බවයි.

හැහ් හැහ් හැහ් මම හිතුවා ඕක ඔහොම වෙයි කියල”.

කිසිවෙකුගේ හඬින් මම නැවතත් පියවි ලෝකයට එමි. මගේ උරහිසට උඩින් පුවත්පත දෙස බලාගෙන ඉන්නේ මහළු මිෂ්කාය. මිෂ්කා කාලයක් නාවිකයෙක් වශයෙන් සේවයේ යෙදේ ඉවත් වූයෙකි. කිසිඳු රක්ෂාවක් දැන් නොකරන ඔහු හවස් කාලයේ අවන්හලට පැමිණෙන්නේ කාගේ හෝ ගාණනට බීම වීදුරුවක් ගැනීමටය. ජීවිත කාලයක් පුරා ලොව වටා කරක් ගසා විවිධාකාර කතාන්දර රාශියකට උරුමකම් කියන ඔහුට හවස බීම වීදුරුව වරදින්නේ එහෙමත් දිනකය. ඔහු මගේ ආරධනාවකින් තොරවම ඉදිරිපස අසුනේ වාඩිවී කතාව පටන් ගත්තෙන් මට ඔහු වෙනුවෙන් බීම වීදුරුවක් ඇණවුම් නොකර සිටිය නොහැකි විය.

“මම කිව්වේ ඇලෙක්සැන්ඩර් මහත්තයා, ඔය සන්තෑසිය වෙන බව මම කලින්ම දැන ගෙන හිටියා.”

“මොනවා ඒ කොහොමද?”

එක සැරයක් මම වැඩ කරපු නැවට ඉන්දියන් ජාතිකයෙක් ගන්න වුණා කොචින්වලින්, අපේ එක්කෙනෙක් හදිසියේ අසනීප වෙලා. මිනිහා පාඩුවේ වැඩ කරගෙන ගියා, වයස 20ක විතර හාදයෙක්. සම්පූර්ණ රුසියානු නාවික පිරිසක් හිටපු නැවේ මිනිහා ඉක්මනට වැඩ අල්ලා ගත්තා. හස්ත සංඥාවලින් තමයි අපි මිනිහට වැඩ කිව්වේ.  දවසක් ඩෙක් තට්ටුවේ මමයි සගයෙකුයි කතාවක් දාගෙන හිටියා. ඔය හාදයා අපිට ඉස්සරහින් ලී පෙට්ටියක් උඩ ඉඳගෙන හිටියා. එක පාරට මේ හාදයා ඇවිත් හින්දියෙන් මොනවද කියලා මගේ සගයට හොඳටම තඩිබාලා ගියා. මම හිටියේ නැත්නම් විශ්වාසෙටම එකකෙනෙක් මුහුදට වැටෙනවා.”       

“ඉතින් ඇයි එහෙම ගැහුවේ ?”

“මමත් ඕකම ඇහුවා මගේ මිත්‍රයගෙන්, මිනිහා කිව්වේ, ‘මම මොකුත් කළේ නෑ, මට ඒ හාදයගේ කොණ්ඩෙයි, හමෙයි පාට දැක්කාම හිතුනා අම්මා හරි තාත්තා හරි යුරෝපියානුවෙක් වෙන්න ඇති කියලා’..”

මිෂ්කා මොනවද මේ කියන්නේ, මම මවිතයට පත් වුණෙමි.

“එතකොට මිෂ්කා ….”

“මිෂ්කා මෙහේ එනවා සයිඩර් වීදුරුවක් ගහන්න” යාබද මේසයකින් කව්දෝ අඬ ගසයි.

“සුබ සැන්දෑවක් ඇලෙක්සැන්ඩර් මහත්මයා, බීම වීදුරුවට බොහොම ස්තුතියි.”

 

පසුවදන

……………………………………………………………………………………………………………………………………………………………………………………….

හිතවත් ඇලෙක්සැන්ඩර් මහතාණෙනි,

ඔබ එවූ ලිපියට බෙහෙවින්ම ස්තුතියි. සත්තකින්ම වැසිලි චෙබෂෙව් මහතාට ඔබව ඉතා හොඳින් මතක අතර දිගු කලකින් කුඩා වියේ හැදුණු වැඩුණු ගමේ කෙනෙකුගෙන් අසන්නට ලැබීම ගැන ඔහු ඉතාමත් සතුටට පත්විය.

කෙසේ වෙතත් ඔබ ලිපියේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් වැසිලි මහතා බලවත් අප්‍රසාදය දක්වන අතර ඔබ මතුකර දක්වා ඇති අදහස් පදනමකින් තොර සාවධ්‍ය අදහස් බව දන්වනු කැමැත්තෙමු. මෙවැනි සාවධ්‍ය අදහස් මාධ්‍යය වෙත යොමු කළහොත් මිත්‍රත්වය නොතකා නීති ප්‍රකාරව කටයුතු කරන බව වැසිලි මහතා විසින් අවධාරණය කරන ලදි. ඔබගේ අදහස් සම්බන්ධයෙන් අපගේ පිළිතුරු පහතින් දක්වා ඇත.

1)   වැසිලි මහතා තරගයක තමාගේ මුල් ඇදීමට පෙර සෑහෙන වේලාවක් ප්‍රතිවාදියා දෙස බලා හිඳින්නේ අන් කිසි අරමුණකින් නොවේ. ඔහු එම කාලය තුල පෙර සූදානම් වීම් මෙනෙහි කරයි.

2)   ඔබ කියන අයුරින් ඔහු තරගය අතරතුරදී වැඩි කාලයක් ප්‍රතිවාදියා දෙස බලමින් ගත නොකරයි. ප්‍රවීණ චෙස් ක්‍රීඩයෙකුට තරගය අධ්‍යනය කිරීමට පුවරුව දෙස බලාගෙන සිටීම අත්‍යවශ්‍ය නොවන බව කලක් චෙස් ක්‍රීඩාව හැදැරූ ඔබ නොදන්නවා විය නොහැකියි.

3)   වැසිලි මහතා අධි-වේගී චෙස් ක්‍රීඩාවේ නොයෙදෙන්නේ ඔබ සඳහන් කරන හේතුව නිසා නොව එමඟින් ඔහුගේ සැබෑ චෙස් ක්‍රීඩා කෞශ්‍යලයට හානි වේ යැයි ඔහු විශ්වාස කරන බැවිනි.

 4)   ඔබ විසින් හුවා දක්වා ඇති තරග වලදී ප්‍රතිවාදියා එවැනි වැරදි ඇදීම් කරන බව උපකල්පනය කිරීම අවස්ථානුකූල වන අතර එය දිගු කාලයක් චෙස් ක්‍රීඩාව ප්‍රගුණ කිරීමෙන් ලැබෙන්නකි.. මෙවැනි තරග ඕනෑ තරම් චෙස් ඉතිහාසයේ ඇත.

 5)   වැසිලි මහතා කිසි කලක පෙරදිග සංචාරය කර නොමැති අතර ඔහුගේ පළමු පෙරදිග සංචාරය වන්නේ ලබන මස චීනයේ ගුවැන්ෂු වල පැවැත්වෙන ලෝක චෙස් ඔලිමියාඩ තරගාවලියයි. ඔබ සඳහන් කරන කාල ප්‍රාන්තරයේ වැසිලි මහතා කල දේ මාධ්‍ය මගින් කිහිපවරක්ම අනාවරණය කර ඇත. ඔබ නගරයෙන් පිටවූ වැසිලි මහතා කාල ගත කලේ අසර්බයිජානයේය. ඔහු එම කාලයේ අසර්බයිජානු ජාතික මහැදුරුවරු දෙදෙනෙක් සමඟ චෙස් ක්‍රීඩාව ප්‍රගුණ කළේය. ඒ බවට දැනටත් ඔහු සමඟ සිටින ඒ මහැදුරුවරුන් දෙදෙනා සාක්ෂ්‍යය දරණු ඇත.

6)   ඔබ විසින් නඟා ඇති චෝදනව සම්බධයෙන් ඔබ විසින්ම සිතා බැලීමට කරුණක් අවසාන වශයෙන් ඉදිරිපත් කරමු. යම් පුද්ගලයෙකු සිතන්නේ තමාගේ භාෂාවෙනි. එසේ නම් කිසිදාක චීන බස හදාරා නැති වැසිලි මහතා චීන ජාතිකයෙකු වන මහැදුරු ඩින් හාඕ මහතාව ලෝක ශූරතාවයේදී පරාජය කලේ කෙසේද?

7)   ඉහතින් දැක්වූ සියලු කරණු අනුව ඔබ විසින් සඳහන් කරන ආකාරයේ ප්‍රතිවාදියා අනභිමුඛයේ තරගවල යෙදීමේ අවශ්‍යතාවයක් නොමැති අතර ඒ සඳහා නිතී සම්පාදනයන් පවා නොපවතින බව දන්වා සිටිමු.

 ඔබගේ දුර්මතය බිඳීමට ප්‍රමාණවත් තරම් කරුණු ඉහතින් ඉදිරිපත් කල බව අපි සිතමු. දැනට කාර්යබහුල දින චරියාවක් ඇති වැසිලි මහතා නුදුරු අනාගතයේදී ඔබ නගරයට නොඑනු ඇත. යම් හෙයකින් ඔබ මොස්කව් නගරයට පැමිණේ නම් ඒ මහතාව නොවැරදීම හමු වෙනු ඇතැයි ඔහු උදක්ම බලාපොරොත්තු වෙයි.

මෙයට විස්වාශී,

ඇනා ස්ටෙපනොව්නා – පුද්ගලික ලේකම්

……………………………………………………………………………………………………………………………………………………………………………………….

අංක 6, වැනි තර්කයකට මට පිළිතුරක් නොමැති බව මම ලිපිය ලියද්දීම දැන සිටියෙමි. යම් දිනක සිතුවිලි සහ සිතීම සෑම මිනිස් කොට්ඨාසයකටම පොදු බවත් භාෂාව හුදෙක් සිතුවිලි ප්‍රකාශ කරන මාධ්‍යයය බවත් හෙළි වනු ඇත. එහෙත් එදිනට වැසිලි ජීවතුන් අතර නොවණු ඇත. විශිෂ්ට චෙස් ක්‍රීඩකයකු වශයෙන් ඔහු දිගටම චෙස් ලෝකය විසින් සළකනු ලබනු ඇත.

Advertisements

අසරුවාගේ අමුතු ගමන

4 Comments

පහුගිය දවසක සංචාරකයාට දූරං ගමන් ඒකං චරං කරන්න වෙන හින්දා දඩි බිඩි ගාල පොත් සාප්පුවකට ගිහින් පොතක් ගත්තා කියව කියව යන්න.  හදිස්සියට ගත්තත් තේරීම නරක වුණේ නැහැ.  පොතේ නම තමයි ‘The Eight’ . කතුවරිය වන්නේ අමරිකානු ජාතික කැතරින් නෙවිල් [Katherine Neville].

අට වන ශත වර්ෂයේ බටහිර යුරෝපයේ හිටපු චාලිමේන් අධිරාජ්‍යයයාට මුවර් ජාතිකයින් වගයකින් ලැබුණු චෙස් පුවරුවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. මෙම චෙස් පුවරුවේ ශිෂ්ටාචාර ඇතිවීම, විනාශ වීම සම්බන්ධ රහසක් සඟවලා තියෙනවා කියල කියනවා. පොතේ තියෙන්නේ කාල දෙකකදී දෙපිරිසක් මේ රහස හොයා ගන්න දරණ උත්සාහයයි. ප්‍රබන්ධනාත්මක චරිතවලට අමතරව බොහෝ දෙනෙක් අහලා තියෙන ප්‍රසිද්ධ චරිත කිහිප දෙනෙකුත් ඉන්නවා. ඒ අතරින් රුසියාවේ දෙවෙනි කැතරින් රැජිණ, සුප්‍රසිද්ධ චෙස් ක්‍රීඩකයෙක් වුණු පිළිදෝර්, ගණිතඥයෙක් වන ලියොනාර්ඩ් ඔයිලර් , නැපෝලියන් බොනපාට් වැන්නවුන් විශේෂයි.

පොතේ අනික් විශේෂත්වය තමයි, චරිත ගති ලක්ෂණ සහ හැකියාවන් අනුව චෙස් පෙතේ ඉත්තන්ට අනුගත කරලා තියෙන එක. උදාහරණයක් විදියට පොතේ එන වර්තමානයේ, කණ්ඩායම් දෙකක් චෙස් පුවරුව එකලස් කරන්න උත්සාහ කරනවා. ඉතින් දෙපැත්තෙම රජවරු, රැජිණියන්, නයිට් වරු එහෙම ඉන්නවා. සැබෑ ජීවිතයේදී මොවුන් ව්‍යාපාරිකයින්, විද්‍යාඥයින්, පරිඝණක ඉංජිනේරුවන් වගේ විවිධ අයයි.

කොහොමින් හරි අද ලියන්න යන්නේ මේ පොතේ තැන් කිහිපයකම සඳහන් වුණු ප්‍රසිද්ධ ගණිත ගැටළුවක් ගැනයි.  ගැටළුව චෙස් පෙතකට සම්බන්ධයි. මතක ඇතිනේ මීට කලින් දවස් දෙකක සංචාරකයා චෙස් ක්‍රීඩාව සම්බන්ධ ගැටළු ගැන කිව්වා.

පරෙවි කූඩු සිද්ධාන්තය

වි‍යැට ප්‍රශ්නය කෙසේද යත් …………….

චෙස් ක්‍රීඩාවේ එන එක ඉත්තෙක් තමයි නයිට්, එහෙමත් නැත්නම් අසරුවා. නයිට් චෙස් පෙතේ ගමන් කරන්නේ L හැඩයටනේ.

Knight’s Tour කියන මෙම ගැටළුවෙන් අහන්නේ මොකක් හරි කොටුවකින් පටන් අරන් නයිට් කෙනෙකුට එක කොටුවකට දෙපාරක් එන්නේ නැතුව චෙස් පෙතේ කොටු 64ටම යන්න පුළුවන්ද කියන එක. [ගැටළුව 1 කියමු]

විකි පිටුවේ හැටියට නම් මෙම ගැටළුව ක්‍රි.ව 9 වෙනි ශත වර්ෂයට යනකම් යනවා. අර්ධ චෙස් පුවරුවක මෙම ගැටළුවට උත්තරය සංස්කෘත කවියක තියෙනවා කියලා තමයි කියන්නේ.

http://en.wikipedia.org/wiki/Knight’s_tour

ලියොනාර්ඩ් ඔයිලර් තමයි මේ පිළිබඳව අධ්‍යනය කළ පළමු ගණිතඥයා. ඒ නිසාම තමයි ඔහු ‘The Eight’ පොතේ චරිතයක් වෙලා තියෙන්නේ. මෙම ගැටළුවෙන් තවත් ගැටළු දෙකක් ගොඩ නඟන්න පුළුවන්.

ගැටළුව 2 – ගැටළුව 1කේ විදියට කොටු 64ටම ගිය නයිට් කෙනෙකුට 65 වෙනි පිම්ම විදියට ගමන ආරම්භ කළ කොටුවට එන්න පුළුවන්ද?

ගැටළුව 3 – ගැටළුව 2කේ විදියට යන ගමනකට එක් එක කොටුවට 1,2,3,4 ආදී වශයෙන්  අංක යෙදුවොත් මැජික් කොටුවක් ගොඩ නැඟෙන ආකාරයේ උත්තර තියෙනවද?

මෙවැනි ගැටළු අයිති වෙන්නේ ගණිතයේ Graph Theory කියන කොටසට. මෙම ගැටළුව Computer Algorithms ඉගෙන ගත්ත  අයට නම් මතක ඇති. Algorithms Course වල අභ්‍යාසයක් වශයෙන් බොහෝ දුරට මේක දෙනවා. ලිපිය ලියද්දි නම් උත්තර ගැනත් පොඩ්ඩක් ලියන්නම් කියලා තමයි හිටියේ, ලිපිය දිග වැඩිවෙන හින්දා ඒ ටික වෙන දවසකට කල් දානවා.

අදින් අවසන් වුණු ලෝක චෙස් ඔලිම්පියාඩ් තරඟාවලිය – 2010

6 Comments

සංචාරකයා ඉතාම අඩුවෙන් තමයි කාලීන ලිපියක් ලියන්නේ. චෙස් ඔලිම්පියාඩය ගැන ලියන්න හිතුවේ මේ ගැන ජාතික මෙන්ම අන්තර්ජාතික ජනමාධ්‍ය වල තිබුණු අඩු අවධානය හින්දයි. ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ පාපන්දු, බේස්බෝල්, පැසිපන්දු, ටෙනිස්, ගොල්ෆ් වගේ ක්‍රීඩා එක්ක බැලුවාම චෙස් ක්‍රීඩාව ඉතාම ළදරු මට්ටමක තියෙන්නේ.

මෙම තරඟාවලිය පැවැත්වුණේ බටහිර දිග රුසියාවේ තියෙන Khanty-Mansiysk නගරයේදියි.  රටවල් 153ක සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලියේ අංශ දෙකක් තිබුණා. ඒ තමයි විවෘත අංශය සහ කාන්තා අංශය.

තරමක් දුරට තියුණු මුහුණුවරක් ගත් විවෘත අංශයේ ශූරතාවය යුක්‍රේනය විසින් දිනා ගත් අතර දෙවන ස්ථානය රුසියානු එක කණ්ඩායම විසින් දිනා ගත්තා. තුන් වන ස්ථානයයට පත් වුනේ ඊශ්‍රායෙල් කණ්ඩායමයි. පසුගිය චෙස් ඔලිම්පියාඩ දෙකේ ලෝක ශූරයන් වූ ආමේනියාවට මෙවර හිමි වුනේ 7 වන ස්ථානයයි. යුක්‍රේනියානු ජයග්‍රහණයේ නියමුවා වුනේ පළමු පුවරුව ක්‍රීඩා කරමින් තරඟ වට 10කින් ලකුණු 8 ක් ලබා ගත් වැසිලි ඉවන්චුක් (GM Vassily Ivanchuk).

කාන්තා අංශයෙන් නම් රුසියානු එක කණ්ඩායමට තරඟයක් තිබුනේ නැති  තරම්. එක තරඟ වටයක් ඉතිරිව තිබෙද්දීම ජයග්‍රහණය තහවුරු වෙලා ඉවරයි. දෙවන ස්ථානය චීනයටත් තෙවන ස්ථානය ජෝජියාවටත් හිමි වුණා. මෙම අංශයෙන් පසුගිය වතාවේ ලෝක ශූරයන් වුණේ ජෝජියාවයි.

අවසාන ප්‍රතිඵලය දකිද්දී සංචාරකයාට හිතිච්ච දෙයක් තමයි කොහොමද සෝවියට් සමූහාණ්ඩුව චෙස් ක්‍රීඩාවෙන් මෙච්චර ඉදිරියට ආවේ කියලා. අද සෝවියට් සමූහාණ්ඩුව නැතත් විවෘත අංශයේ මුල් ස්ථාන 10න් 4කටත් කාන්තා අංශයේ මුල් ස්ථාන 10න් 5කටත්  හිමිකම් කියන්නේ බිඳුනු සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල්. අවසන් වට වලදී පසුබෑවත් අසර්බයිජානය සහ ජෝජියාවත් විවෘත අංශයේ  මුල් වටවලදී සෑහෙන ඉදිරියෙන් හිටියා. ඊළඟට දක්ෂතා දක්වලා තියෙන්නේ නැගෙනහිර යුරෝපියානු රටවල්. වඩාත් පැහැදිලි වෙන්න පහත වගුව සහ සිතියම බලන්න.

සිතියමෙන් දැක්වෙන්නේ අංශ දෙකේම මුල් ස්ථාන 10ට පැමිණි රටවල භූගෝලීය ව්‍යාප්තිය.

මෙම තරඟාවලිය නියෝජනය කරමින් විවෘත අංශයෙන් තරඟ වැදුණු ශ්‍රි ලංකා කණ්ඩායම 104 වන ස්ථානයටත් කාන්තා 75 වන කණ්ඩායම ස්ථානයටත් පත් වුණා. ඒ කණ්ඩායම් දෙකටම සංචාරකයා සුබ පතනවා. මෙම තරඟාවලියට අදාළ විස්තර තරඟාවලියේ නිල වෙබ් අඩවියෙන් ගන්න පුළුවන්.

http://www.ugra-chess.com

අර මැක්කගේ කතාව වගේ සංචාරකයාගේ ලිපි බොහෝ දුරට ගණිතයට සම්බන්ධයිනේ. මේ ලියන්න යන්නේ ගණිතයේ Topology කියන අංශයට අදාළ අමුතු සිදධාන්තයක් ගැනයි. මේක ලියන්න හිතුනේ අර උඩින් දක්වපු සිතියම පාට කරලා ඉවර උනාම. මේ ප්‍රමේයෙන් කියන්නේ තලයක අඳින ලද ඕනෑම  සිතියමක යාබද රටවල් වලට එකම පාට නොවෙන්න  පාට කරන්න අවශ්‍ය වෙන්නේ උපරිම වශයෙන් පාට 4යි කියලා. එක් පූර්ව අවශ්‍යතාවයක් තමයි එක රටක භූමි ප්‍රදේශය සන්තතික [contiguous] වීම. අනික තමයි මෙහි යාබද රටවල් කියන්නේ පොදු මායිමක් සහිත රටවල් වලටයි. ලක්ෂ්‍යයකදී හමු වන රටවල් මෙයට අදාළ නෑ. කතාව තේරුම ගන්න බලමු පහත රූප සටහන් එක්ක.

පළවෙනි රූපයේ රතු පාටින් දැක්වෙන කළාප දෙක එකම රටකට අයිති නම් මෙම ප්‍රමේය අදාළ වෙන්නේ නැහැ. අපේ ලෝක සිතියම ගත්තත් මෙහෙම රටවල් පිහිටලා තියෙනව. දෙවෙනි රූපයේ තියෙන A සහ B රටවල් දෙක යාබද රටවල් විදියට ගණන් ගන්න බෑ දෙවෙනි පූර්ව අවශ්‍යතාවය අනුව. මොකද ඒ රටවල් දෙකට තියෙන්නේ පොදු ලක්ෂ්‍යයක් විතරයි. පොදු මායිමක් නෑ.

“වර්ණ හතරේ” ප්‍රමේයෙන් කියන්නේ ඉහත අවශ්‍යතා දෙකම  සපුරන ඕනෑම සිතියමක් යාබද රටවල් එකම පාට නොවෙන්න පාට කරන්න අවශ්‍ය වෙන්නේ පාට හතරයි කියලා. උදාහරණයක් විදියට පහතින් දැක්වෙන රූපය බලන්න. වර්ණ 4කින් මුළු සිතියමම පාට කරලා තියෙනවා, හැබැයි යාබද රටවල් වලට එකම පාට නෑ.

මෙම ගැටළුව සම්බන්ධ අදහස මුලින්ම ඉදිරිපත් කරලා තියෙන්නේ දකුණු අප්‍රිකානු ජාතික ගණිතඥයෙක් සහ උද්භිද විද්‍යාඥයෙක් වන Francis Guthrie.  විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යයකුව ඉද්දී ඔහු වරක් එංගලන්තයේ ප්‍රාන්තවල සිතියමක් පාට කරන විට දැකලා තියෙනවා ඉහත සඳහන් කළ විදියට සිතියම පාට කරන්න අවශ්‍ය වර්ණ 4යි කියලා. ඔහු මෙය තමාගේ සොයුරු  Fredrick හරහා සුප්‍රසිද්ධ ගණිතඥයෙක් De Morgan වන වෙත යොමු කරලා තියෙනවා. මතක ඇතිනේ De Morgan, අර කුලක වාදයේ, බූලියානු වීජ ගණිතයේ එහෙම පාවිච්චි වෙන De Morgan නියම ඉදිරිපත් කලේ.

මේ සිද්ධිය වෙන්නේ 1852 දී. De Morgan හරහා මෙම ගැටළුව ගණිතඥයින් අතර පැතිරෙන්න ගත්තා. හැබැයි 1976 වන තුරුම මෙය අනුමිතියක් (Conjecture) ව්දියට තමයි තිබුණේ. කිසි කෙනෙකුට සාධනයක් ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. අතරින් පතර සාධන කිහිපයක් ආවත් පසුකාලීනව ඒවගේ වැරදි හම්බ වෙලා තියෙනවා.අනුමිතියක් කියන්නේ බැලූ බැල්මට සත්‍යයක් විදියට පෙනෙන එහෙත් විධිමත් සාධනයක් නොමැති කරුණකුයි. මීට කළිනුත් සංචාරකයා ඒ වගේ අනුමිතින් දෙකක් ගැන කතා කරල තියෙනවා මතක ඇතිනේ. මතක නැත්නම් මෙන්න මේ යොමු දෙකන් බලන්නකෝ. (Kepler’s Conjecture, Collatz Conjecture)

දැනට 1976 දී ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ Kenneth Appel සහ Wolfgang Haken විසින් පරිඝනක ඇසුරෙන් ඉදිරිපත් කරපු සාධනය නිවැරදි යයි පිළි ගැණෙනවා.