“Something lives only as long as the last person who remembers it” යනුවෙන් ස්වදේශික අමෙරිකානු කියමනක් පවතියි. ඒ අනුව යමින් මහාචාර්යය ස්මිත් ඔහුගේ අවසන් කාලයේදී මා සමඟ කියූ අපූර්ව කතාව මෙසේ ලියා තබමි. එවිට ප්‍රබන්ධයක් වශයෙන් හෝ අනාගත පරම්පරාව වෙනුවෙන් මෙම කතාව ඉතිරිව පවතිනු ඇත.

ඒ අනූව දශකයේ මැද භාගයයි. අවුරුදු කිහිපයක් තිස්සේ පැවති අභ්‍යන්තර යුද්ධය අවසන් වී රට නැවත ගොඩ නැඟෙමින් තිබූ. මේ වනවිට මා මහාචාර්යය ස්මිත්ගේ පුද්ගලික ලේකම් වශයෙන් අවුරුදු දහයකට ආසන්න ප්‍රමාණයක් වැඩ කර තිබිණි.  මුල් කාලයේ ඉතා රළු හැසිරීමක් පෙන්වූ මහාචාර්යයවරයා මේ කාලය වන විට මට සළකන්නේ අතිශය සමීප හිතවතෙකු වශයෙනි.

“දිමිත්‍රි අපි අද හවස මහාචාර්යය ඇන්ඩෲගේ මළ ගෙදරට යන්න ඕනේ”

මුල් සිසිරයේ දිනක කාර්යාලයට ගොඩ වූ මහාචාර්යය ස්මිත් හිම කබාය ඔහුගේ පුටුවේ පිටුපස එල්ලමින් මට පැවසුවේය. උසස් අධ්‍යාපන සහ පර්යේෂ්ණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා වූ මහාචාර්යය ඇන්ඩෲගේ මරණය මා ඒ වන විටත් රූපවාහිනියෙන් දැන සිටියෙමි. නමුත් මේ දෙපළ එකිනෙකා අඳුනන බවක් මම දැන නොසිටියෙමි. මා මහචාර්යය ස්මිත් ළඟ වැඩ කළ මෙතෙක් කාලය තුළ දෙදෙනා අතර සිදුවූ ලිපි ගනුදෙනුවක් හෝ දුරකථන ඇමතුමක් පිළිබඳ කිසිඳු මතකයක් මා තුල නොවීය.

“අපි හවස කෝච්චියේ යමු. ටිකටුයි අපිට නවතින්න තැනකුයි ලෑස්ති කරන්න.”

අපේ ගමන පැය දෙකක ගුවන් ගමනකින් යා හැකි වුවත් මහාචාර්යයවරයා තවමත් ප්‍රිය කරන්නේ පැය 12ක් පමණ ගතවන දුම්රිය ගමනයි.

ගමන පුරාවටම මහාචාර්යය ස්මිත් මා සමඟ කතා කලේ වචන කිහිපයක් පමණි. මෙවැනි දීර්ඝ ගමන් වලදී සමාන්‍යයෙන් ඔහුගේ හැසිරීම මෙසේ නොවේ. වෙනදා නම් ඔහු තමාගේ අඩ සියවසකට වඩා වැඩි ජීවිත කාලය තුල මුහුණ දුන් රසබර සිද්ධීන් කියමින් ගමන් විඩාව සම්පූර්ණයෙන් අමතක කර දමවයි. විශේෂ සිදුවීමකින් තොරව අවමංගල්‍ය උත්සවයට සහභාගී වී අපි ආපසු එන්නට පිටත් වූයේමු. ආපසු එන අතට මහාචාර්යය ස්මිත් තරමක් දුරට ප්‍රකෘති තත්වයට පත්වී සිටියත් ඔහු කිසියම් වේදනාත්මක මතකයකින් පෙළෙන බව මට සිතුණි. අපේ නගරයට ආසන්නවත්ම භෝජනාගාරයට කෝපි ටිකක් බී ප්‍රබෝධමත්වීමට මම මහාචාර්යයවරයාට යෝජනා කළෙමි. දීර්ඝ ගමනකින් වෙහෙසී සිටි ඔහු එයට කැමතිවිය.

“මුළු ගමන පුරාවටම නිෂ්ශබ්දව සිටීම ගැන මට සමාවෙන්න දිමිත්‍රි. ඇන්ඩෲ කියන්නේ මට හිටපු හොඳම ගෝලයා. හැබැයි අවාසනාවකට වගේ ඒක ඔහුට ඇරෙන්න වෙන කාටවත් මට කියන්න බැරි උනා.ඒක අපි දෙන්නටම හරිම අවසනාවන්ත මතකයක්”

“දිමිත්‍රි, මගේ හෘදයාබාධයත් එක්ක මම තව අවුරුද්දකට වැඩිය ඉන්න එකක් නෑ කියලා තමයි ඩොක්ටර්ලා කියන්නේ”

“එහෙම කියන්න එපා සර්, ඩොක්ටර්ස්ලා කියනවනේ පරිස්සම් වුණොත් ප්‍රශ්නයක් නෑ කියලා.” 

“හ්ම්ම්ම්, කොහොම වුණත් මේ කතාවට සම්බන්ධ අයගෙන් දැනට ජීවතුන් අතර ඉන්නේ මම විතරයි. මැරෙන්න කලින් මම වෙලාවක දිමිත්‍රිට මගෙයි ඇන්ඩෲගෙයි කතාව කියන්නම්. ඒක හිතට ලොකු සහනයක් වෙයි.

මහාචාර්ය ස්මිත් මට මේ කතාව කියන්නේ තවත් මාසයකට පමණ පසුවයි. වෘත්තීයම ලේකම්වරයකු වශයෙන් ඒ කාලය තුල මහාචාර්යය ඇන්ඩෲ සම්බන්ධයෙන් කිසිවක් නොඇසීමට වග බලාගත්තෙමි. ඒක් දිනක දරුණු හිම පතනය නිසා නිවසට යා ගත නොහැකිව අප දෙදෙනා කාර්යාලයේ සිරවී සිටින විට මහාචාර්යයවරයා කතාව පටන් ගත්තේය.

හැටේ අවුරුදුවල මුල් කාලේ ඇන්ඩෲ මගේ ගෝලයෙක් විදියට ආචාර්යය උපාධියට අදාළ අධ්‍යයන කටයුතු වල යෙදෙමින් හිටියේ. ඔහු ඉතාමත් දීප්තිමත් ශිෂ්‍යයෙක්. අපි අධ්‍යනය කරමින් හිටියේ Combinatorics සහ Graph Theory වලට අදාළ මූලධර්මයි. ඒ කාලයේ පරිඝනකවල මුල් අවදිය නිසා පරිඝනක සම්බන්ධ ගණිතයට අදාළ අධ්‍යයනවලට ආණ්ඩුවෙන් සෑහෙන්න මුදල් ලැබුණා.”

“එක දවසක් ඇන්ඩෲ සටහන් ගොන්නකුයි චෙස් බෝඩ් එකකුයි එක්ක මගෙ කාමරේට කඩා වැදුණා. අධ්‍යයන කටයුතුවල යෙදෙන අතරතුරේ ඇන්ඩෲ චෙස් ක්‍රීඩාවේ යෙදුණු බව මට රහසක් වුනේ නෑ.. ඔහු නගරයේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් චෙස් තරඟාවලි කිහිපයකටත් සහභාගී වුණු බව මම දැනන් හිටියා. ඒ වන විටත් අධ්‍යයන කටයුතුවලට මුල්තැන දෙන ලෙස කීප විටක්ම මම ඔහුට අවවාද කරලයි තිබුණේ.”

“සර් මේක කියවලා බලන්නඋද්යෝග‍ය වැඩිකමට ඇන්ඩෲගේ කටහඬ වෙව්ලුවා.

“පළවෙනි පිටුව කියවලා ඉවර වුණු ගමන් මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරි වුණා. දිමිත්‍රි ඔහු හොයාගෙන තිබ්බේ චෙස් ක්‍රීඩාවේ ඕනෑම පිහිටුමකදී ජයග්‍රහණ වෙනුවෙන් ඇදිය යුතු ඇදීම සොයා ගැනීමට ගණිතමය ක්‍රමවේදයක්. !!!! “

“යම් යම් ගැටළුකාරී තැන් තිබුණත් සමස්තයක් වශයෙන් සංකල්පය හරි. ඉදිරි දින කීපයේදේ අපිට ඒ ගැටළු සාර්ථකව විසඳා ගන්න පුළුවන් වුනා. විශ්වාස කරන්න දිමිත්‍රි අපි හොයා ගත්තා චෙස් ක්‍රීඩාවේ ජයග්‍රහණය, ඉතාම නිවැරදි මට්ටමෙන් ගියොත් මුල් ඇදීම කරන සුදු පිලට හිමි කරගත හැකිබව. ඒ සඳහා සුදු පිල පටන් ගත යුතු ඇදීමක් තිබුණා. එයින් පසු කළු පිල අදින එක් එක් ඇදීම අපේ ගණිතමය ආකෘතියට යෙදුවාම අපිට සුදු පිලේ ඊළඟ ඇදීම ගණනය කළ හැකි වුණා.

කළු පිල අදින එක් එක් ඇදීම අනුව වුණේ පරාජය ඉක්මන් හෝ ප්‍රමාද වීම පමණයි. අනික් අතට අපි කළු ක්‍රීඩා කරනවා නම් සුදු පිළ අත්‍යන්ත ඇදීමෙන් පිට යන විට ජයග්‍රහණයට අදාළ ඇදීම් ගණනය කිරීමට අපිට පුළුවන් වුණා.

“සර් ඒක එහෙම කරන්න පුළුවන්ද? මට මතකයි ක්ලෝඩ් ෂැනන් ඔය ගැන කියලා තිබුණා. චෙස් පෙතක තියෙන්න පුළුවන් පිහිටුම් ඉතා විශාලා සංඛ්‍යාවක් තියෙනවා කියලා”

“ඔබ හරි දිමිත්‍රි, ඒ ඉලක්කම 1043 තරම් විශාල අගයක්. අපි කියන ගණිතමය ආකෘතිය ලේසි එකක් නෙවේ. එයින් අවශ්‍යය උත්තරය ලබා ගන්න සෑහෙන ප්‍රමාණයක ගණනය කිරීම් කරන්න වෙනවා. හැබැයි ඒක කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ටික්-ටැක්-ටෝ ක්‍රීඩාව ගන්න. ඒක ක්‍රීඩකයන් දෙදෙනාම නිවැරදිව ක්‍රීඩා කළොත් තරඟය ජය පරාජයෙන් තොරව ඉවර වෙන්නේ. එවැනි දෙයකට ගණිතමය ආකෘතියක් හදන්න පුළුවන් කියල ඔබ පිළි ගන්නවා නේද?”

“ඒ වගේම තමයි, චෙස් ක්‍රීඩාව ඊට වඩා සංකීර්ණ වුණත් ඒක කරන්න පුළුවන්.

“ඔබත් චෙස් ක්‍රීඩකයෙක්නේ දිමිත්‍රි. මට ඒ ගැනත් පොඩි ප්‍රශ්නයක් තිබ්බා. හහ් හහ් හා, මම ඒ ගැන පසුව කියන්නම්. ඔබ දන්නවනේ ඒක් පිහිටුමක එක අවස්ථාවක අදින්න පුළුවන් නීත්‍යානුකූල ඇදීම් ප්‍රමාණය සීමිතයි කියලා. ඒ අනුව ගණනය කිරීම තරමක් පහසු කර ගන්න පුළුවන්.

සර්ලා ඒ ක්‍රමය අනුව පරිඝනක වැඩසටහනක් හැදුවද?

“මතක තියා ගන්න දිමිත්‍රි ඒ කාලේ පරිඝනක සුලබ නෑ. තාක්ෂණය දියුණු වෙමින් පැවතුණේ. කොටින්ම අපි පරිඝනක විද්‍යාවට අදාළ ගණිතය සම්බන්ධ පරීක්ෂණවල යෙදුණට අපේ විශ්ව විද්‍යාලයට පරිඝනකයක් තිබුණෙවත් නැහැ. අපිට මිනිස් මොළය ගැනම විශ්වාසය තබන්න සිද්ධ වුණා.”

“මෙහෙම හිතන්න, ඔබ ගුණ කිරීම හොයා ගන්නවා. සංකල්පය දැන ගත්තාම ඔබ තේරුම් ගන්නවා සමහර සංඛ්‍යයාවලින් ගුණකරන්න මුළු ක්‍රියාවලියම අනුගමනය කරන්නේ නැතුව කෙටි ක්‍රම තියෙන බව. ඒ වගේ අපිට පුළුවන් වුණා මේ ගණනය කිරීම් මනෝමයෙන් කරන්න පුළුවන් තත්වයට ගේන්න. ඇන්ඩෲ ඒ සම්බන්ධයෙන් විශේෂඥයෙක් වුණා.

“අපේ ක්‍රමය අත්හදා බලන්න ඇන්ඩෲ ඉදිරිපත් වුණා අපේ රටේ විවෘත ශූරතාවලියට පමණ දෙවෙනි වුණු ආණ්ඩුකාරවරයාගේ ශූරතාවයට. ඔහු තරඟ වට සියල්ලම ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගත්තා.

“මේ ගැන ලොකු හාහූවක් රටේ ඇතිවුණා. ඇන්ඩෲට තවත් තරඟාවලිවලට ආරාධනා ආවත් අධ්‍යයන කටයුතු නිසා වන කාර්යබහුලත්වය පෙන්වමින් අපි ඒවා මග ඇරියා.”

ඉතින් සර් ඔය වෙද්දී වෙන කව්රුවත් ඕක හොයාගෙන තිබ්බේ නැද්ද?

“ඔය ගැනත් අපි හෙව්වා දිමිත්‍රි, අපි ලෝක ප්‍රසිද්ධ චෙස් මහැදුරුවරුන්ගේ තරඟ අරගෙන අපේ ආකෘතියට දාලා බැලුවා. අපිට තේරුණා සම්පූර්ණ ආකෘතිය ගැන නොදන්නවා වුවත් එහි සමහර කොටස් දන්නා අය සිටි බව.

මෙහිදී මහාචාර්යවරයා හිටපු දක්ෂ ක්‍රීඩකයන් 4 දෙනෙකුගේ නම් සඳහන් කළා.

 “අපේ කතාවේ කණගාටුදායක හරි එන්නේ ඊට පස්සේ දිමිත්‍රි. ආහ් තව දෙයක් කියන්න ඔනේ දිමිත්‍රි, අපෙන් පස්සෙත් ආකෘතියේ යම් යම් කොටස් හොයා ගත්තා කියලා අපි හිතපු කෙනෙක් හිටියා.”

මහාචාර්යයවරයා 80 දශකයේ සිටි තවත් දක්ෂ ක්‍රීඩකයෙකුගේ නමක් පැවසුවා.

මොකක්ද සර් කණගාටුදායක හරිය?

“අපේ සියළු සොයා ගැනීම් ප්‍රසිද්ධියට පත්කිරීමට පෙර රජයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළයුතු වෙනවා. දිමිත්‍රි අහලා ඇතිනේ ඒ කාලේ ඒකට විද්‍යා හා තාක්ෂණ සභාවක් තිබුණා.”

“ඇන්ඩෲ මේ ගැන සෑහෙන බලපොරොත්තු තියාගෙන හිටියේ. ඔහු හිතුවා අපිට මේ නිසා ලෝක ප්‍රසිද්ධවීම පුළුවන් වෙයි කියල. ඒ ගැන ඔහුට වැරැද්දක් කියන්න බෑ. ඔහු ඒ කාලේ තරුණයි, හරිම උද්යෝගිමත්. හැබයි රජය සමඟ වැඩ කරල පළපුද්දක් තිබුණු මටනම් අපේ සොයා ගැනීමට වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුණා.”

“මම හිතපු විදියටම වැඩ සිද්ධ වුණා, අපි අපේ සොයා ගැනීම සභාවේ අනුමැතියට ඉදිරිපත් කළාම අපිට උසස් නිලධාරියෙක්ගෙන් කැඳවීමක් ලැබුණා.

“ඔහු ඉතාම පැහදිලිව අපේ සොයා ගැනීම අගය කළා. ඒ සඳහා අපට නිසි අයුරින් ත්‍යාග ලබා දෙන බවත් කිව්වා. ඊට පස්සේ ඔහු මෙහෙම කිව්වා.”

“මේ සොයා ගැනීම ප්‍රසිද්ධ කළොත් චෙස් ක්‍රීඩාව නැත්තටම නැති වෙනවා.”

“ඇන්ඩෲ කිසිවක් කරකියාගත නොහැකිව බලාගෙන හිටියා. මෙවන් දෙයක් බලාපොරොත්තු වූ මට තත්වයට තරමක් හොඳින් මුහුණ දෙන්න පුළුවන් වුණා.”

“ඉතින් අපිට බැරිද අපේ ක්‍රීඩකයන්ගේ යහපත වෙනුවෙන්වත් මෙය යොදා ගන්න”.

“ඇන්ඩෲ ඒක පාලනය කරන්න අපහසුයි, රහස පිට වෙන්න තියේ ඉඩ වැඩියි. ඔබ දන්නවනේ අපේ රටේ ඉන්න අන්තර්ජාතික ක්‍රීඩකයන් ප්‍රමාණය.”

“ඔබ දෙපලට මේ සඳහා පිරිනමන තනතුරු හා මුදල් පිළිබඳව විස්තරය. ඔත්තු සේවය ටිකක් කල් ඔබලාව අධීක්ෂ්ණය කරයි. මේ යෝජනාවලට පිටින් යන්න හදන්න එපා, මම ඒ ගැන වෙනම කියන්න ඕනේ නෑනේ. මේ සම්බන්ධව ඇති සියළුම ලිඛිත තොරතුරු ඔත්තු සේවය විසින් විනාශ කරනු ඇති.”

“ඔතනින් එහාට වැඩි දෙයක් නෑ, අපි තනතුරු සහ මුදල් බාර අරගෙන පාඩුවේ හිටියා, හැබැයි ආයේ කවදාවත් අපිට පරීක්ෂණ වැඩවලට හිත් යොදවන්න හිතුණේ නැහැ. ඒක රට වෙනුවෙන් ගත් හරි තීරණය වුණත් අපේ සොයාගැනීමට අත්වුණු ඉරණම අපිට දරා ගන්න බැරි වුණා.”

එතකොට සර් මම ගැන කිව්වේ?

“දිමිත්‍රි මම ගාවට ආවේ අසූ ගණන්වල නේද? ඒ කලේ ඔත්තු සේවය අපිට සෑහෙන්න කරදර කළා අර මම ඉස්සෙල්ලා කියපු ක්‍රීඩකයාට අපි මොනවා හරි දුන්නද දැන ගන්න. පස්සේ එයාලටම තේරුණා අපේ කිසි සම්බන්ධයක් නැති බව. මගේ ළඟට චෙස් ක්‍රීඩකයෙක් පුද්ගලික ලේකම් කරලා එව්වාම මහ හිතුවේ ඔහු ඔත්තු සේවයේ කෙනෙක් කියලා. පහු වෙද්දී මට තේරුණ දිමිත්‍රි ඔත්තුකාරයෙක් නෙවේ කියලා.”

“මේ කතාව කාටවත් කියන්න එපා දිමිත්‍රි, මම මැරුණයින් පස්සෙවත්, මම මේක ඔයාට කිව්වේ මගේ හිත සැහැල්ලු කර ගන්න.

ඔව් සර් මට තේරෙණවා, මම කාටවත් කියන්නේ නෑ සර්

ඒදායින් පසු මගේ ජීවිතය තරමක් පහසු විය. සතිපතා මම යවන වාර්තාවල ඔවුන් සොයන්නේ කුමක්දයි දන්නා නිසා ඒවා සැකසීමට මම වැඩ කලක් නොගෙන ඉන්නට පුරුදු වුණෙමි. එමෙන්ම මසකට පෙර යැවූ වාර්තාවක් නැවතත් යැවීමටත් මම පසුබට නොවුනෙමි. එමෙන්ම මහචාර්යවරයට වූ පොරොන්දුව මේ ලියන මොහොත දක්වාම එලෙසින්ම රැක්කෙමි. අදාළ කිසිවෙකුත් දැනට ජීවතුන් අතර නැති නිසා සටහන් කර තැබීමෙන් හානිය නොවනු ඇත.